Published by Anver on 30 Oct 2011 at 01:51 pm
Consuming non vegetarian foods – Sinhala
මාංශ ආහාර අනුභවය
මෙලෙස ඉතාමත් අලංකාර අන්දමින් සතුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට සහ උන්ට ඉතා හොඳින් කරුණාව දැක්වීමට දිරිගන්වන දහමක් විසින්, සිය බැතිමතුන් හට මාංශ අනුභවය අනුමත කර තිබෙන්නේ කෙලෙසද? කියා දැන් යමෙකුට නියත වශයෙන්ම සිතෙන්නට ඉඩකඩ ඇත.
පොදුවේ ගත්කල බහුතරයකගේ මතය බවට පත්ව ඇත්තේ මාංශ අනුභවය අනුමතවී ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් තුල පමණක් බවය. සත්‍යවශයෙන්ම පවසනාවා නම් ලොව ප්‍රධාන දහම් සියල්ලම වාගේ මාංශ ආහාර අනුභවය අනුමත කොට ඇත. මෙම මාතෘකාව සාකච්චා කිරීමේදී අප උද්වේගයට හා නොඉවසිලිවන්තභාවයට පත් නොවී තම හෘදසාක්ෂියට එකඟව බුද්ධියෙන්, විචාරයෙන් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව විමසුමක යෙදෙන්නේ නම් සත්‍යය කුමක්ද කියා දැනගැනීමට කොහෙත්ම අපහසුතාවයක් ඇති නොවනු ඇත.
මාංශ අනුභවය ලොව සියළු ප්‍රධාන දහම් අනුමත කර ඇතිබව එම සියළු දහම්හි පිළිගත් මුලාශ්‍රයන්ගෙන් උපුටාගත් සාක්ෂි, සාධක ගෙන හැර දක්වා කිසිම සැකයකින් තොරව සනාථ කළ හැකි බව සහතික වන්නට කැමැත්තෙමු. එහෙත් එම කරුණු මෙම පොත් පිංචට ඇතුලත් නොකළේ එහි ඇති සංවේදී තාවය සැලකිල්ලට ගෙනය. එලෙස මාංශ අනුභවය අනුමත කර ඇත්නම් එය කළහැක්කේ සතුන් කැපීම තුලින් එනම් ජීවිතක්ෂයට පත්කිරීමෙන් පමණක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද? මේ පිළිබඳව මත පරස්පරයක් කිසිවෙකුටවත් තිබිය හැකි වන්නේද?
අන් දහම්හි කරුණු ඉදිරිපත් නොකොට තර්කයට, විචාරයට හා බුද්ධියට පිළිගත හැකි අයුරින් මේ පිළිබඳව වු ඉස්ලාමීය සංකල්පය සකස්වී ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීම අපගේ පරමාර්ථයයි. සතුන් කැපීම පිලිබඳව ඉස්ලාමය ගැන ඇති වැරදි මතයන් ඉවත්කොට සත්‍යය තත්වය පැහැදිළි කිරීම අපගේ වගකීමක් ලෙසද සළකන්නෙමු එමනිසා මෙම සුහද සාකච්චාවට අප හා එක්වන ලෙස ගෞරවයෙන් හා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ආචාර්ය විලියම් ටී. ජාර්විස්, විද්‍යාව හා සෞඛ්‍ය පිළිබඳව වන ඇමරිකානු සභාවේ (American Council of Science and Health) උපදේශක වරයෙකි. හෙතෙම මහජන සෞඛ්‍ය හා නිවාරක වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලෝටා ලින්ඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරයද දරන්නේය. ආචාර්ය ජාර්විස් විසින් නිර්මාංශ අනුභව කරන්නන්ව ඔවුන්ගේ හැසිරීම් රටාව අනුව පුළුල් කොටස් දෙකකට බෙදයි.
1. ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්.
2. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්.
ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව ප්‍රායෝගික සෞඛ්‍ය හේතුන් මත රඳා පවතී. ඔහු උද්වේගකාරී නොවී යථාර්තවාදීව මෙම විෂය පිළිබඳව අවධානය යොමු කරයි. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව මතවාදයන් මත පිහිටා ඇති අතර ඔහු යථාර්තයෙන් සිතනවාට වඩා උද්වේගකාරීව මෙම විෂය පිළිබඳව කටයුතු කරයි. මිනිසුන් තම ආහාරය තෝරා ගැනීමේදී විවිධ හේතුන් පිළිබඳව අවධානය යොමුකරවන අතර එයින් ප්‍රධාන කරුණු පහතින් දක්වා ඇත්තෙමු.
1. ආගමික හේතු
2. භූගෝලීය හේතු
3. පුද්ගලික කැමැත්ත
4. මානව දයාව
5. පාරම්පරිකව පැවත එන හා පුද්ගලික චර්යාවන්
6. පාරසරික හා ආර්ථික හේතු
7. පෝෂණය
ඉහත කරුණු වලින් මිනිසුන්ගෙන් බහුතරය වඩාත් උද්වේගකාරී වන්නේ මාංශ අනුභවය පිළිබඳව ආගමික පදනමකින් යුක්තව කරුණු සාකච්චා කිරීමේදී බව අප විසින් අත්දැක ඇති සත්‍යයකි. ඉස්ලාමය වනාහී මිහිතලය මත ජීවත්වන සියළු ජනයාට කිසිදු බාධාවකින් තොරව එකසේ අනුගමනය කළහැකි ඉගැන්වීම් අඩංගු වන්නාවු විශ්ව දහමකි.
ඉස්ලාමය එක් රටකට, එක් ප්‍රදේශයකට, එක් ජනකොට්ඨාශයකට, එක් යුගයකට, එක් ශිෂ්ටාචාරයකට, හෝ එක් සංස්කෘතියකට පමණක් සීමාවූ දහමක් නොවේ. දිය හිඟයෙන් යුත් කාන්තාරයේ කටුක දිවියක් ගෙවන කාන්තාර වැසියාට මෙන්ම වර්ෂයේ දින 365 ම හිම මත ජීවත්වන එස්කිමෝවරුන්ටද එකසේ පිළිපැදිය හැකි ඉගැන්වීම් එහි අඩංගුවී ඇත.
බෝග වගාවට පහසුකම් නොමැති කාන්තාර වැසියාගේ ආහාරය සැපයෙන්නේ රට ඉඳි, කිරි, මාංශ, හා ඉතාමත් සීමිත බෝග වර්ගයන්ගෙනි. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ජීවත්වන එස්කිමෝවරු හා එයට ආසන්න රටවල්වල ජීවත්වන ජනයාට මාංශ අනුභවයෙන් තොර ජීවිතයක් ගැන සිතාබැලීමටවත් නොහැක. මාංශ අනුභවය හා එයට සම්බන්ධ ආහාරයට ගන්නා සතුන් කැපීම තහනම් කර තිබේ නම් මෙම ප්‍රදේශයන්හි ජනයාට එම නීතිය නියත වශයෙන්ම වලංගු නැති සංකල්පයක් වනු නොඅනුමානය. ඉස්ලාමීය ඉගැන්වීම් මෙම ලෝක යථාර්තයට අනුකුල වනසේ සකස්වී ඇත්තේ සැබැවින්ම එය විශ්ව දහමක් වන හෙයිනි. ඉස්ලාමයට එරෙහි චෝදනා පමණක් ගෙන එහි නිවැරදිව අවබෝධකර ගත්විට එම දහමේ අන්තර්ගත ගැඹුරු සත්‍යය ලෝකයාට හඬනගා කියන්නක් බවට පත්වන ආකාරය මෙම කරුණු වලින් හෙළි නොවන්නේද?
දැන් අප ඉස්ලාමයට අනුව මාංශ ආහාර අනුභවය සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති කවරේදැයි අල්-කුර්ආනයෙන් විමසා බලමු.
ඊට ප්‍රථමයෙන් අප පැවසිය යුතු ඉතා වැදගත් දෙයක් නම් ඉස්ලාමය වනාහී ලොව එකම අංග සම්පූර්ණ සහ ප්‍රායෝගික ජීවන සැලසුම බවයි. එබැවින් අන්‍ය ආගම් වල හෝ වෙනත් වෙනත් දර්ශන වල ඇති කරුණු, අදහස්, අවවාද සහ උපදෙස් වැනි කිසිවක් ඉස්ලාමයට ඈඳා ගැනීමට හෝ කුලියට ගෙන ඉස්ලාමයට ඇතුලත් කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ඉස්ලාමය යනු විශ්ව සාධාරණ විශ්වීය දහමයි. මිනිසා හට ඇති පරිපූර්ණ ජීවන ක්‍රමයයි.
මේ බව අල්ලාහ් විසින් ශුද්ධවූ අල්-කුර්ආනයෙහි මෙසේ වදාරා ඇත.
අද දින ඔබ වෙනුවෙන් ඔබේ දහම අංග සම්පූර්ණ කළෙමි. තවද මම ඔබ වෙනුවෙන් මගේ අනුග්‍රහය, ආශිර්වාද අංග සම්පූර්ණ කළෙමි. තවද ඔබ වෙනුවෙන් ඉස්ලාම් දහම ඔබගේ මාර්ගෝපදේශය ලෙස තෝරා ගත්තෙමි.
අල්-කුර්ආනය 5. 3
එසේ නම් ඉස්ලාම් ධර්මය මේ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට කිසිදු සැකයකින් සහ අපහසුතාවයකින් තොරව අනුගමනය කිරීමට හැකි විය යුතුය. අරාබි වැනි කාන්තාර වියලි පෙදෙසක වෙසෙන ජනයින්ට මෙන්ම, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි සශ්‍රීක කෘෂිකාර්මික පෙදෙසක ජීවත්වන මිනිසුන් හටද කිසිදු සැකයකින් තොරව සිය හෘදය සාක්ෂියට එකඟව ඉස්ලාම් අනුගමනය කිරීමට හැකි විය යුතුය.
මේ නිසා අල්ලාහ් විසින් නිර්මාංශ පමණක් අනුභව කළ යුතුයැයි සීමාවක් ඇති කොට ඉස්ලාම් ධර්මය අනුගමනය කරන්නාවු මුස්ලිම් වරුන් අපහසුතාවයට පත් කළේ නැත.
මිනිසා යනු සර්වභක්ෂක සත්වයෙකි. එමනිසා මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය ශාක ආශ්‍රිත ආහාරයට මෙන්ම මාංශ ආහාර වලටද උචිත වන පරිදි නිර්මාණය වී ඇත. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන සතුන්ගේ ආහාර ජීරන පද්ධතිය නිර්මාණය වී ඇත්තේ හුදෙක් නිර්මාංශ ආහාර වලට උචිත වන පරිද්දෙනි. එමෙන්ම ඔවුන්ගේ මුඛයෙහි පිහිටා ඇති දන්ත පද්ධතියද සර්ව භක්ෂක මිනිසාගේ දන්ත පද්ධතියට ඉදුරාම වෙනස්ය. එනම් ආහාර තැලීමට සහ ඇඹරීමට පමණක් උචිත වන පරිද්දෙනි. එනමුත් මිනිසාගේ දන්ත පද්ධතිය විවිධවු දන්ත වර්ග වලින් සමන්විත වේ. එනම් ආහාර කැබලි බවට කැපීම සඳහා කෘන්තක දත්ද, ආහාර කුඩා කැබලි වලට ඉරීම සඳහා රදනක දත්ද, ආහාර තැලීමට සහ ඇඹරීමට සුදුසු වන පරිදි චාර්වක සහ පුරස්චාර්වක දත්ද වැඩුණු මිනිසකුගේ දන්ත පද්ධතියෙහි දක්නට ලැබේ. කෘන්තක සහ රදනක දත් තියුණු වන අතර චාර්වක සහ පුරස්චාර්වක දත් පැතලි පෘෂ්ඨයන්ගෙන් යුක්ත වේ.
මිනිසා හුදෙක් නිර්මාංශික – ශාක භක්ෂක ජීවියෙක් වුයේ නම් මිනිසාගේ දන්ත පද්ධතිය ශාක භක්ෂක සතුන් වන හරකුන් සහ එළුවන්ගේ මෙන් දත් පද්ධතියක් තිබිය යුතුය. එනම් ආහාර ඇඹරීමට සහ තැලීමට පමණක් සුදුසු දත් පද්ධතියක් තිබිය යුතුය. නමුත් ඊට වෙනස් දත්ද මිනිසා සතුය.
මේ අනුව මිනිසා සත්ව මාංශ අනුභව කිරීම විද්‍යානුකූලය. එමෙන්ම එය මිනිස් ස්වභාවයට පටහැනි නොවේ. එනමුත් ඉස්ලාම් දහම සෑම සතෙකුම ආහාර සඳහා අනුභව කිරීමට අවසර ලබාදී නොමැත. නිදසුනක් ලෙස සුකර (ඌරු මස්) වැනි මාංශ ඉස්ලාම් දහම විසින් තහනම් කොට ඇත.
එමෙන්ම දඩයම් කර අනුභව කරන සතුන් (කොටි, වලසුන් සහ සිංහයන් වැනි සතුන්ගේ මාංශ) අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. මේ නිසා සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් මිනිසා තුල තිරිසන් සහ රෞද්‍ර ගති ඇති වේ යැයි ඇතැමුන් නගන තර්කද බිඳ වැටේ.
මේ විශ්වය මැවු අල්ලාහ් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා විශ්වයේ ඇති අනෙකුත් සෑම දෙයක්ම මවා ඇත. ඒවායින් සමහර දේවල් අනුභව කිරීමටත්, සමහරක් දේවල් භුක්ති විදීමටත්, අල්ලාහ් මිනිසා හට අනුමැතිය ලබාදී ඇත. මේ බව ශුද්ධවු අල්-කුර්ආනයේ බොහෝ තැන් වල අවධාරණය කෙරේ.
විශ්වාස වන්තයිනි, නියමිත ගිවිසුම එකහෙලාම පිළිපදිනු. මතු පවසනු ලබන දෑ (සතුන්) හැර සියළු අන්දමේ සිව්පාවුන් නුඹලාට හලාල් (අනුමත) කරනු ලැබ ඇත……..
අල්-කුර්ආනය 5
. 1
ස්වභාවික ලෙස මියගිය සතුන්ද, රුධිරයද, සූකර මාංශද, අල්ලාහ්ට හැර (වෙනත් දෙවිකෙනෙකු නමකින්) මරනු ලැබූ සතුන්ද, ගෙල මිරිකීමෙන් මැරුණු සතුන්ද, මිය යනතුරු පහර දෙනු ලැබූ සතුන්ද, වැටීමෙන් මරණයට පත්වූ සතුන්ද, (තවත් සතෙකු විසින්) ඇන මරනු ලැබූ සතුන්ද, මාංශ භක්ෂකයෙකු විසින් (ගොදුරු කොට) සපාකන ලදුව (පණපිටින් සිටි) සතුන්ගෙන් නුඹලා විසින් නිසිලෙස මරනු ලැබූ සතුන්ද හැර (අන් සතුන්ද) නැමදුම් කිරීමට සිටුවන ලද දැයට කපන සතුන්ද, තවද ඊතල වලින් නිමිති සෙවීමද නුඹලාට තහනම් කරන ලදී……….
අල්-කුර්ආනය 5.3
සිවුපාවුන් මැව්වේත් (අල්ලාහ්) උන්වහන්සේය. එහි ඔබට උණුසුම් (ඇදුම්)ද අනේකවිධ ප්‍රථිලාභද ඇත. තවද එහි ඔබට බුදින්නට ආහාරද ඇත.
අල්-කුර්ආනය 16. 5
තවද (ඔබට) සාගරය භුක්ති විදින්නට සැලැස්සුවේ උන්වහන්සේය. එයින් ඔබ නැවුම් මෘදු මාංශ (මත්සයින්) අනුභව කරන්නේය……..
අල්-කුර්ආනය 16. 14
මෙලෙස ඉස්ලාමය මාංශ ආහාර අනුභවය මිනිසා වෙත අනුමත කලා පමණක් නොව අනුභව කලයුතු සත්වයන් කවරේද? ඒවායින් අනුභව කළ යුත්තේ කිනම් කොටස්ද? ඒවා අනුභව කිරීම සඳහා සකස් කර ගන්නේ කෙසේද? යනාදී සියළු උපදෙස් ඉතා සුපැහැදිලිව ඉස්ලාමය විසින් පවසා ඇත.
නියපොතු ආධාරයෙන් දඩයම් කර ජීවත්වන පක්ෂීන් අනුභව කිරීම ඉස්ලාම් තහනම් කොට ඇත. උදාහරණ රාජාලියා, ගිරවා, උකුස්සා, බකමුණා ආදී පක්ෂීන්.
දඩයම් දත් ඇති සතුන්ද අනුභව කිරීම ඉස්ලාම් දහම තහනම් කොට ඇත. උදාහරණ බළලා, බල්ලා, කොටියා, සිංහයා සහ වදුරා ආදී සතුන්.
ගවයා සහ ඔටුවා හැර ප්‍රවාහනය සඳහා භාවිතා කරන අනෙකුත් සතුන්ගේ මස් අනුභව කිරීමටද ඉස්ලාම් අනුමැතිය දී නැත. උදාහරණ බුරුවා, කොටළුවා, අලියා වැනි සතුන්ය.
හුනන් කැරපොත්තන් වැනි සතුන්ද නයි, සර්පයන්, තබරගොයන් කිඹුලන් වැනි උරගයන් සහ දියගොඩ දෙකෙහිම වසන උභය ජීවීන් අනුභවයද ඉස්ලාම් තහනම් කොට ඇත.
ඉහත සඳහන් කරුණු අනුව ඉස්ලාමය විසින් මිනිසා හට මාංශ ආහාර ගැනීම අනුමත කර ඇති බව ඔබට දැන් සනාථ වී ඇත. එමෙන්ම මෙලෙස මාංශ ආහාර අනුභවයට අනුමැතිය පමණක් ඉස්ලාමය තුල ඇති අතර එය කොහෙත්ම අනිවාර්යය ක්‍රියාවක් ලෙස හෝ එයට කිසිදු දිරිගැන්වීමක් හෝ එම ඉගැන්වීම් තුල නොමැත.
යහපත් මුස්ලිම්වරයෙකු වීමට මාංශ අනුභවය කොහෙත්ම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. නමුත් පටු චින්තනයක් තුල කොටුවී ලෝක යථාර්තය පිලිබඳව අවබෝධයකින් තොරව බොහෝවිට තම හෘදසාක්ෂියට එකඟ නැති අයුරින් කටයුතු කිරීමෙහි ඇති හරය කුමක්ද?