අනවසර ආගමික ස්ථානය යනු අද අප සමාජයේ ඉමහත් අර්බුදයකට ලක්වු මාතෘකාවකි. බොහෝ දෙනෙකු පවසන්නේ නිසි අවසරයකින් තොරව ඉදිකරන මෙවැනි ආගමික ස්ථානයන් ඉදිකිරීම තහනම් කළ යුතු බවය. මෙය හුදෙක් කිතුණු සහ මුස්ලිම් පල්ලි ඉදිකෙරෙනවාට බෞද්ධ සහ කතෝලික සමාජයන් විසින් නගන විරෝධයක් බව අපට දක්නට ලැබේ. නමුත් මෙම අර්බුදයේ තවත් නොපෙනෙන පැත්තක් ඇති බව මගේ අදහසයි.

බෞද්ධ ආගමික ස්ථාන

ලංකවේ ඉදිකරන අනවසර ආගමික ස්ථාන වලින් බහුතරය බෞද්ධ ඒවා බව මෙම ලියුම්කරුගේ අදහසයි. නමුත් අප රටේ අතිබහුතරයකට මෙය නොපෙනේ, නොතේරේ හෝ ඒ බව දැනගැනීමට අවශ්‍යතාවයක් නොමැත. ලංකාවේ තුල බෞද්ධ සමාජය තුල ඉදිකරන අනවසර ආගමික ස්ථානයන් මේවාය.

අසපු, ආශ්‍රම, භාවනා මධ්‍යස්ථාන, දේවාල, නොයෙක් ස්ථානයන්හි ස්ථාපනය කරන්නාවු ප්‍රථිමාවන්, බෝධී ප්‍රාකාරයන් සහ මෙකී නොකී නාමයන්ගෙන් කරන්නාවු ඉදිකිරීම්ය. මේ ඉදිකිරීම් කිරීම සඳහා බෞද්ධ සම්ප්‍රදායක් ඇත. නමුත් ඒ සම්ප්‍රදායන් සියල්ල බිඳිමින් මේ ඉදිකිරීම් කරගෙන යයි.

නිදසුනක් ලෙස යම් තැනක පංසලක් පිහිටුවනවා නම් සම්ප්‍රදායට අනුව පලමුකොටම, ඒ පංසල පිහිටුවන ගම තවත් ඒ වනවිටත් පවතින පංසලක ගොදුරු ගමක් නොවිය යුතුය. දැනට පවතින පංසලෙන් එකී ගොදුරු ගමේ හතර පේරුවේ කටයුතු නිසියාකාරව ඉෂ්ඨ වෙනවා නම්, ඒ අතරමැදි තවත් පංසලක් ඉදිකිරීම ශාසන සම්ප්‍රදායන්ට පටහැනිය. එමෙන්ම මෙම ඉදිකිරීම ශාසනාරක්ෂක බලමන්ඩලයේ ලේඛකාධිකාරී, උපදිසාපති හෝ ප්‍රාදේශීය ලේකම්, අධිකරණ සංඝනායක යන තනතුරු දරන්නන් විසින් අනුමත කළ එකක් විය යුතුය. මේවා ලියාපදිංචි කිරීමට රජයේ පටිපාටියක් ඇත. ඒ අනුව ලියාපදිංචි කර තිබිය යුතුය. එමෙන්ම එම ඉදිකිරීම කරන්නාවු සංඝපාර්ශවයට අයත් මහානායක හිමියන්ගේ අවසරයද වැදගත්ය.

මෙසේ නොවී කවුරුන් හෝ දානපතියෙක් යම් භුමියක් ශාසනයට පුද කිරීමෙන් පසුව එතැන අසපුවක්, දේවාලයක් හෝ මොනයම්ම ඉදිකිරීමක් කිරීම බොදුනු සම්ප්‍රදායන්ට පටහැනිය. එසේ නම් අද අපරටේ ඉදිකරන තරමක් ඉදිකරන්නේ අනවසර ආගමික ස්ථාන නොවේද?

මෙහිදී ප්‍රථිමා ස්ථාපනය ගැනද මදක් කිව යුතුය. කිසියම් කෙනෙකුට යම්කිසි ප්‍රථිමාවක් ස්ථාපනය කළ යුතු නම් ඒ සඳහා පිළිවෙලක් තිබිය යුතුය. නමුත් අද බොහෝ ප්‍රථිමාවන් තිබෙන්නේ රජයේ ඉඩම් මත අනවසර ඉදිකිරීම් ලෙසය. යම් කෙනෙකුට ආලම්බන ප්‍රීතියක් එන්නේ නම් ප්‍රථමයෙන් සිදුකල යුත්තේ ඒ සඳහා නිසිපරිදි ඉඩමක් මිලදී ගැනීමය. නමුත් ඔවුන් එසේ තමන්ගේ දේපල ඒ සඳහා දීමට මැලිවෙයි. එමගින් සෑම තැනකම කිසිදු ප්‍රමිතියකින් තොරව ප්‍රථිමා ස්ථාපනයෙන් අගෞරවයට පත්වන්නේ එකී ශාස්තෘවරයාණන්ම නොවේද? එමෙන්ම එකී සමහර ප්‍රථිමාවන්ගේ ස්වරූපය නිසි පරිදි අඹා නොමැත. එවිට එම ප්‍රථිමාවේ තිබෙන්නේ එකී ශාස්තෘවරයාණන්ගේ රූපයේ අඩුපාඩු සහිත ස්වරූපයකි. මෙයින්ද සිදුවන්නේ එකී ශාස්තෘවරයාණන්ට අගෞරවයක් නොවේද?

මෙම ප්‍රථිමා ස්ථාපනය කිරීමෙන් වක්‍රාකාරව තමන්ට වාසි සලසා ගැනීම් කරගැනීම්ද බහුලය. නිදසුනක් ලෙස ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් විසින් ස්ථාපනය කරන ලද ඒවා බොහෝ විට ඔවුන්ගේ රථගාල් සුරක්ෂිත කරගැනීමට සඳහා කරන ලද ඒවාය. සමහර ස්ථාන අතීතයේ කුණු ගොඩවල්ය. එම කුණු ගොඩ ඉවත්කර ගැනීමට ප්‍රථිමාව ස්ථාපනය කර ඇත. මේවායින් සිදුවන්නේ එම ශාස්තෘවරුන්ට අපහාසයක් නොවේද?

හින්දු ආගමික ස්ථාන

බොහෝ විට හින්දු ආගමික ස්ථානයන්ට විරෝධය එල්ලවීම අඩුය. එයට ප්‍රධාන හේතුව ලාංකීය සිංහල ජනතාව ප්‍රභාකරන්ට භය නැති වුවද හින්දු දෙවියන්ට භය වීමයි. එමෙන්ම ලාංකීය සිංහල ජනතාවගෙන් බහුතරයක් කුමණ ආගමිකයන් වුවද ඔවුන් අර්ධ වශයෙන් හින්දු කරණය වී ඇත. ඒ නිසා හින්දු ආගමික ස්ථාන ඉදිකිරීමේදී ඒවාට විරුද්ධ වීම ඉතාමත් අඩුය.

උතුරු නැගෙනහිර පලාත් වලදී හින්දු දේවරූපද අනවසර ඉදිකිරීම් වශයෙන් මහපාරේ තිබෙනු දක්නට ලැබෙයි.

කිතුණු ආගමික ස්ථාන

ලංකාවේ කිතුණු සමාජයේ අනවසර ආගමික ස්ථාන ඉදිකිරීමෙහිලා පු‍රෝගාමීන් වී සිටියේ කතෝලික ප්‍රජාව වන නමුදු දැන් ඒ සියල්ල කනපිට ගොස් කතෝලික නොවන කිතුණු ප්‍රජාව ඉදිරියට පැමිණ ඇත. ඔවුන් මෙලෙස ඉදිරියට ඒමට ප්‍රධාන හේතුව ලංකාවේ මිෂනාරී ව්‍යාපාරයේ ව්‍යාප්තියයි. බොහෝ විට මෙම මිෂනාරී ව්‍යාපාරයන්ගෙන් බහුතරය මෑතකදී ලංකාව තුල ස්ථාපනය වු හෝ විදෙස් රටකින් පැමිණි කිතුණු සභාවන්ය. ඔවුන්ට කියා පාරම්පරික ආගමික මධ්‍යස්ථාන නොමැත. මේ නිසා ඔවුන් විසින් අභිනවයෙන් ඉදිකරන සියළුම ආගමික ස්ථාන අනවසර ආගමික ස්ථාන වේ.

මෙහිදී මෙම ආගමික ස්ථාන වලට බෞද්ධ සහ කතෝලික යන පාර්ශවයන් දෙකෙන්ම විරෝධතාවයන් එල්ල වේ. එයට හේතුව නම් මෙම පාර්ශව දෙකෙහිම බැතිමතුන් සංඛ්‍යාවක් මිෂනාරි කරණයට ලක්වී සෝදා යාමයි. තමන්ගේ පැවැත්මට හානිදායක මෙම මිෂනාරි ව්‍යාපාරයට ආගමික නායකයන් විසින් විරුද්ධ වීම පුදුමයක් නොවේ. නමුත් මොවුනට විරුද්ධ වන්නට විරුද්ධ වන්නට ඔවුන් ශක්තිමත් වනු නියතය. ඒ නිසා විරුද්ධ වීමට වඩා එම දහමට මිනිසුන් ඇදී යන කාරණය සොයා ජනතාව බුද්ධියෙන් සන්නද්ධ කිරීම හොඳය.

මෙහිදී කතෝලික පාර්ශවයද ප්‍රථිමාස්ථාපනයේදී බෞද්ධයන් මෙන්ම ඉදිරියට පැමිණ ඇත. සමහර ස්ථාන වලදී මේ දෙපිල ගැටුනු අවස්ථාද ඇත. නිදසුනක් ලෙස මීගමුව නගර සභාව අසල ප්‍රථිමාස්ථාපනයේදී දෙපිලම අධිකරණය දක්වා ගොස් ඇත. කොලඹ පුත්තලම මාර්ගයේ ස්ථාන රැසකදී දෙපිලම අනවසර ඉදිකිරීම් ලෙස ප්‍රථිමා ස්ථාපනය කර ඇත.

මුස්ලිම් ආගමික ස්ථාන

අද ලාංකීය මුස්ලිම් සමාජය දෙස බලන කල ඔවුන් කිසිදු ප්‍රථිමාස්ථාපනයක් නොකරති. නමුත් ඔවුන්ට තිබෙන්නාවු ජනගහනයට අනුව පල්ලි සංඛ්‍යාව නොසෑහේ. මෙය ඇත්තක් දැයි දැක බලාගන්නට සිකුරාදා දිනෙක දහවල මුස්ලිම් පල්ලියකට ගොස් බලන්න. ලංකාවේ පල්ලි වලින් ඉතාමත් බහුතරයකටම එම පල්ලි කරා ඇදෙන ජන සංයුතිය දරාගත නොහැකි තරම්ය. මේ වැඩිවන ජනගහනය උදෙසා අළුතින් පල්ලි ඉදිකිරීමට යන අවස්ථාවන්හිදී එම ස්ථාන අවට සිටින අන්‍යාගමික ජනතාවගෙන් බලපෑම් එල්ල වන්නේ නිරායාසයෙනි. එයට ප්‍රධාන හේතුව නම් යම් තැනක මුස්ලිම් පල්ලියක් තිබේ නම් එතැන මුස්ලිම් ගහනය වැඩිවන බවට වන ඔවුන්ගේ විශ්වාසයයි. නමුත් මෙලෙස මුස්ලිම් වරුන්ට පල්ලි ඉදිකිරීමට නොදීමෙන් සිදුවන්නේ කුමක්ද?

මධ්‍යම පලාතේ එක්තරා ස්ථානයක අළුතෙන් පල්ලියක් ඉදිකරන්නට ගිය විට එම ප්‍රදේශයේ යම් අන්තවාදීන් පිරිසක් ළඟ තිබෙන විහාරස්ථානයකට ගොස් මේ පිළිබඳව විහාරාධිපති හිමියන්ට පැමිණිලි කළ අවස්ථාවේ එතුමා පවසා ඇත්තේ. මේ මිනිසුන් කරන්න ගියේ කුමක්ද? ඔවුන් එතන බාර් එකක්වත්, ගණිකා නිවසක් වත්, සුදු පොලක් දාන්නවත් ගියේ නැහැ. ඔවුන් කළේ තමන්ට දෙයියන් වඳින්න පල්ලියක් හදා ගන්න එකයි. මිනිස්සු තමන්ගේ ආගමට නැඹුරු වන විට වෙන්නේ කුමක්ද? ඔවුන් යහපත් පුද්ගලයන් වෙනවා. ඉතින් මේ මුස්ලිම් අය පල්ලියක් හදාගෙන යහපත් මිනිසුන් වෙන්න හදනකොට ඔයාලා විරුද්ධ වෙන්නේ ඇයි? යැයි පවසා ඇත.

මේ හිමියන්ගේ බුද්ධිමත් බව නිසා එම ප්‍රදේශයේ මුස්ලිම් වරුන්ගේ අයිතීන් සුරැකුනි. නමුත් ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හි සිදුවන්නේ කුමක්ද? ගණිකා මඩම්, සම්බාහන මධ්‍යස්ථාන, කැසිනෝ ක්ලබ්, සමාජ ශාලා, කැරෝකේ, මත්පැන් හල්, සුදු පොලවල්, ගබ්සා මධ්‍යස්ථාන වැනි ජනතාවට හානි කරන තැන් බොහොමයක් තිබෙන නමුදු අන්තවාදීන් මේවාට විරුද්ධ නොවී විරුද්ධ වන්නේ මුස්ලිම් වරුන්ගේ පල්ලියටය.

නමුත් සිංගප්පුරුව වැනි රටවල වැඩිවන ජනගහනයට සාපේක්ෂව ආගමික ස්ථාන ඉදිකිරීමට රජයෙන්ම යාන්ත්‍රණයක් සාදා ඇත. මේ නිසා එම රටේ සෑම දහමක්ම රටපුරා විසිරී ඇත. ජනතාවද සහජීවනයෙන් කටයුතු කරති. අපේ රටේද සිංගප්පූරුව ආදර්ශයට ගනිමින් එවැනි යාන්ත්‍රණයක් සාදන්නේ නම් සෑම ආගමකටම එය සහනයක් වනු නොඅනුමානය.