යම් කෙනෙකු ඉස්ලාම් දහම වැලඳ ගන්නා ආකාරය කෙලෙසද? යන්න සමහර විට දැන් ඔබ සිතනවා වන්නට පුළුවන. මෙහිදී ඔබ පලමුව මතක තබා ගත යුතු කාරණයක් නම් ඔබ ඉස්ලාම් දහමට පැමිණෙන්නේ ලෞකික ප්‍රථිලාභයක් පතා නම් එය අසාර්ථක ප්‍රයත්නයක් බවයි. මන්ද ඉස්ලාම් යනු බුද්ධිය අමතන දහමකි. ඔබ ඉස්ලාම් දහම වැලඳ ගත් සැනින් ඔබගේ ප්‍රශ්ණ සියල්ල ඉවරයි කියා ඉස්ලාම් නොපවසයි. සමහර විට ඉස්ලාම් වැලඳ ගත් පසු ඔබට තිබෙන ප්‍රශ්ණ වැඩි වන්නටද ඉඩකඩ ඇත.

නමුත් ඔබ ඉස්ලාමය වැලඳ ගතහොත් ඔබගේ අධ්‍යාත්මයට ක්ෂාන්තිය උදාවේ. මෙම ක්ෂාන්තිය තුලින් ඔබගේ ඉදිරි දිවියට මුහුණ දීමට තිබෙන සියළු ප්‍රශ්ණ හමුවේ නොපැකිල මුහුණ දීමට ශක්තිය ලැබෙනු නියතය.

ඉස්ලාම් දහම වැලඳ ගැනීම කෙරෙහි කිසිදු කෙනෙකුට බලකිරීමක් නොමැත. අකමැත්තෙන් ඉස්ලාම් දහම වැලඳ ගැනීමට බලකිරීම දෙවිඳුන් අප්‍රසන්න ක්‍රියාවකි.

(ඉස්ලාම්) දහමෙහි බලකිරීමක් නැත. (මන්දයත්) අයහමගෙහි සිට (ඈත් වී) සෘජු මාර්ගය (අත්කර ගන්නේ කෙසේදැයි) පැහැදිලි වී ඇත.

(ශුද්ධවූ අල්-කුර්ආනය 2.256)

ඉස්ලාමය වැලඳ ගැනීම සඳහා ක්‍රියාවලියේ මූලික පියවර වනුයේ තමන් තුල ඇති දේව විශ්වාසය ගැන සාක්ෂි දැරීමයි. මෙය අරාබි භාෂාවෙන් කලීමා හෙවත් ෂහදාව ලෙස හැඳින්වේ. මෙම වාංමාලාව අරාබි බසින් පැවසිය යුතු වදනකි. එය මෙසේය.

අශ්-හදු-අල්-ලා ඉලා-හ ඉල්-අල්ලාහ් ව අශ්-හ-දු අන්-න

මු-හම්-ම-දුර්-ර-සූ-ලුල්-ලාහ්

එහි සිංහල අරුත නම් මම සාක්ෂි දරමි, අල්ලාහ් (දෙවිඳුන්) හැර නැමදුමට පිදුමට වෙන දෙවි කෙනෙකු නොමැත සහ මම සාක්ෂි දරමි, මුහම්මද් අල්ලාහ් (දෙවිඳුන්)ගේ මානව දුතයාය.

මෙම ප්‍රකාශය පවසා සාක්ෂි දැරීම ඉස්ලාමයේ මූලික පිළිවෙත් පහෙ (පංච ශීලයෙ) න් පලමු වැන්නය.

දහම වැලඳ ගැනීමට උපදෙස්

1. අපගේ නිර්දේශය නම් දහම වැලඳ ගැනීමට පෙර ඉස්ලාම් දහම හඳුණා ගැනීමේ පංති වලට සහභාගීවී මූලික දැනුම ලබාගන්නා ලෙසයි.

2. මෙම දහම වැලඳ ගැනීමේ ක්‍රියාවලිය සඳහා අපගෙන් දුරකථන මාර්ගයෙන් කාල වේලාවක් වෙන් කරගෙන පැමිණ සිදු කළ හැක.

3. අපගේ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡයාරූප 3 ක්, ග්‍රාමසේවක සහතිකයක් සහ ජාතික හැඳුණුම්පතේ ඡායා පිටපතක් අවශ්‍යය.

4. දහම වැලඳ ගැනීමෙන් පසු භාවිතා කිරීම සඳහා ඔබට අර්ථවත් අරාබි භාෂිත නමක් තෝරා ගත හැක. මෙය අනිවාර්ය වූවක් නොවන අතර මෙම නම ඔබගේ වාසගම සහිතව භාවිත කළ හැක.

5. ඔබව හොඳින් හඳුණන ‍කෙනෙකු සමග මෙම සාක්ෂි දැරීම සඳහා පැමිණෙන්නේ නම් වඩා අගනේය.

අල්ලාහ් (දෙවිඳුන්) අභියස අනුමත දහම ඉස්ලාමයයි.

(ශුද්ධවූ අල්-කුර්ආනය 3. 19)

අශ්-හදු-අල්-ලා ඉලා-හ ඉල්-අල්ලාහ් ව අශ්-හ-දු අන්-න

මු-හම්-ම-දුර්-ර-සූ-ලුල්-ලාහ්

හි අන්තර්ගතය

දෙවිඳුන් ගැන දැනුම, ‍ දෙවිඳුන් කෙරෙහි නිසැක බව, දෙවිඳුන් හදවතින්ම පිළිගැනීම, දෙවිඳුන් කෙරෙහි අවංකබව, දෙවිඳුන් කෙරෙහි සද්භාවය, දෙවිඳුන් කෙරෙහි ප්‍රේමය, දෙවිඳුන් කෙරෙහි අවනතබව සහ දෙවිඳුන් කෙරෙහි යටහත් බවයි.