Published by Anver on 26 Dec 2009 at 04:44 pm
ඉස්ලාම් දහම සහ සහජීවනය
ඉස්ලාම් දහම අපට පෙන්වාදෙන පරිදි අප සියළු දෙනාම එකම මව්පිය යුවලකගෙන් දෙවිඳුන් විසින් ලොවට ජනිත කොට ඇත. මේ නිසා ලොව සිටින සකල මනුෂ්‍ය වර්ගයාම එකිනෙකාගේ සහෝදරයන්ය.
සෑම මනුෂ්‍යයකුම ලොවේ ප්‍රථම දෙමාපියන්වු ආදම් සහ හව්වා (අල්ලාහ් විසින් මැවූ ප්‍රථම) යුවලගේ දරුවන්ය. එම නිසා කිසිවෙකුටත්, වෙනස් කම් නොකල යුතුයි. සෑම දෙනාටම ගරුකල යුතුයි.(අල්-කුර්ආන් 49:13)
මිනිසුන් අතර භාෂා ප්‍රාදේශීය, වර්ණ, ස්වභාවය, පවුල, ධනය, ආගම ආදී මුලික වෙනස්කම් තිබිය හැක.ඒවා වැලැක්විය නොහැක්කකි. ඊට හේතුව ඒවා සියල්ල දෙවිඳුන්ගේ කැමැත්ත අනුව සිදුවන හෙයිනි. බහුත්වවාදය ඉස්ලාමය පිලිගනී. මෙමගින් ලොව විවිධත්වයක් ඇති වන බව ඉස්ලාම් පෙන්වාදේ. මෙම සෑම තත්වයකදීම මිනිසාට පරලොව සුබසෙත සඳහා වෑයම් කිරීමට දිරිදෙන ඉස්ලාම් ඒ ඒ අය වෙහෙසවන ප්‍රමාණයට පරලොවෙහිදී අල්ලාහ් ගෙන් විපාක ලබා ගැනීමට දිරි ගන්වයි. මෙහිදී අප තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය නම් ඉස්ලාම් අපට පෙන්වා දෙන ආකාරයට මෙලොවදී සැප සම්පත් භුක්ති විඳින්නාට පරලොව සැප සම්පත් උදා කර ගැනීමට විය යුතු වෙහෙස දිලින්දාගේ වෙහෙසට වඩා අධික විය හැක.
අහස, පොළව, මවා තිබීමද ඔබ අතර භාෂා වර්ණ භේද තිබීමද ඔහුගේ ශක්තියේ සාක්ෂි වන්නෝය. මේවායින් බුද්ධිමතුන්ට බෝහෝ සාක්ෂි (දෙවියන්ගේ ශක්තිය ගැන) ලබාගත හැක. (අල් කුර් ආන් – 30:22)
දහම කෙරෙහි ඉස්ලාම් හි කිසිදු බලකිරීමක් නොමැත. මිනිසාට සියල්ල සිය බුද්ධියෙන් විචාරා, විමසා සිය තීරණ සහ තීන්දු ගත හැක. නමුත් එහිදී ඔහු විසින් දැන ගත යුතු ප්‍රධාන දෙය නම් ඔහු මෙලොවදී කරණ සියළුම දේට යම් දිනයකදී අල්ලාහ් ඉදිරියේ වගකිව යුතු බවයි.
(නබි වරය) ජනයාට විශ්වාසවන්ත (මුස්ලිම් වර)යින් වියයුතු බවට ඔබ බලකරනවාද? (අල්කුර්ආන් 10:99)
ඉස්ලාමය දෙවියන් විසින් මිනිස් සමාජයට ලබාදුන් පහසු ජිවන මාර්ගයකි. එය සාධක සහිතව අලංකාරව සහ ක්‍රමානුකූලව ප්‍රචාරය කිරීම මුස්ලිම්වරුන්ගේ වගකීමයි. ඒවා නොපිලිගන්නා අයව දෙවිඳුන්ගේ භාරයට යොමු කිරීමට ඉස්ලාමය උගන්වයි. මෙහිදී අප විසින් මිනිසුන් දෙවිඳුන්ගේ මාර්ගයට ගැනීමට කුමණ වෙහෙසක් ගත්තද ඒ සඳහා අල්ලාහ්ගේ අනුග්‍රහය නොමැතිව කිසිවක් සිදු නොවන බව ඉස්ලාම් පෙන්වා දේ. සැබවින්ම අල්ලාහ්ගේ අනුග්‍රහයකින් තොරව කිසිවෙකුට දෙවිඳුන්ගේ මාර්ගය වන ඉස්ලාම් අත්පත් කර ගත නොහැක.
ඉස්ලාමය නොපිලිගන්නා අය කෙරෙහි බලහත්කාරය යෙදීම, ඔවුන්ව පීඩනයට පත්කිරීම වරදකි. ඉස්ලාම් ධර්මය තුල බලහත්කාරයක් නොමැත (අල්කුර්ආන් 2:256)
ඉස්ලාමීය රාජ්‍යයක් තුල අන්‍ය ආගමිකයින් දිම්මිවරු ලෙස හදුනවනු ලබන අතර, රාජ්‍යතුල වෙසෙන සියළු දැයට හිමි අයිතිවාසිකම් අන්‍ය ආගමිකයින්ට ද හිමිවේ. එමෙන්ම කිසියම් යුධමය අවස්ථාවකදී රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීම මුස්ලිම් වරයෙකුට අනිවාර්යය වන නමුදු එහි සිටින මුස්ලිම් නොවන අයට එය අනිවාර්ය නොවේ. මෙහිදී මුස්ලිම්වරුන්ගෙන් අන් ආගමිකයන්ගේ ආරක්ෂාව තහවුරු වේ.
“මෙයට මුහම්මද් (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) නබි තුමාණන් විසින් මදීනා නගරයට පැමිණ එම නගරයේ සිටි සෑම ආගමකට අයත් සියළු මිනිසුන් සමග අත්සන් කල මදීනා ගිවිසුමේ ඇතුලත් කරුණු හා එහි එකඟතාවයන් හොඳ නිදසුනකි”.
මුස්ලිම්වරු අන්‍ය ආගම්වලටත්, ඔවුන්ගේ සංස්කෘතියටත් ගරු කල යුතුයි.
- අන්‍යයන් වන්දනය කරන්නාවු දෙවිවරුන්ට ගැරහීමෙන් වැලකී සිටිය යුතුය (අල්කුර්ආන් 6:108)
- අන්‍ය ආගමිකයින් සමඟ සිදුකරන ආගමික සංවාද වලදී මනා සංයමයකින් මනාගරුත්වයකින් කටයුතු කල යුතුය (අල්කුර්ආන් 29:46)
- යුද්ධමය අවස්ථාවලදී අන්‍ය ආගමික පුජනීය ස්ථාන ආරක්ෂා කිරීම අනිවාර්යයයි(අල්කුර්ආන් 22:40)
- නජ්රාන් දේශයේ ක්‍රිස්තියානි වැසියන්ට නබිතුමාගේ පල්ලියේ එක් පසෙක ඔවුන‍්ගේ වන්දනාමාන කටයුතු සිදුකිරීමට මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමා අවසර දුන්නේය.
නබි(එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාණන්ගේ අභාවයෙන් පසුව එතුමානන්ගේ නියෝජිතයාවන දෙවෙනි රාජ්‍ය නායකයා (2 වෙනි කලීපා වු උමර්(අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට හිමිවේවා) තමන්ගේ සේනාංක තවත් ප්‍රදේශයකට යවන අවස්ථාවල මෙසේ උපදෙස් දීමට අමතක නොකළේය.
“අන්අයගේ දේවස්ථානවල ඔබගෙන් කිසිම කෙනෙක් ලැගුම් නොගත යුතුය. එහි කිසිම දෙයකට හානි නොකල යුතුය”.
සමාජ සම්බන්ධතා ආරක්ෂා කිරීම
දෙමව්පියන්, නෑයින්, අසල්වැසියන්, ගම්වැසියන් හා රට වැසියන් අන්‍ය ආගමිකයින් වුවද සමාජමය බැදීම(අන්‍ය සුහදතාවය) අවශ්‍ය වේ.
දෙමව්පියන්, නෑයින්, අසල්වැසියන්, ගම්වැසියන් හා රට වැසියන් අන්‍ය ආගමිකයින් වුවද සමාජමය බැදීම(අන්‍ය සුහදතාවය) අවශ්‍ය වේ.
එසේම මුහම්මද් නබි(එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා)තුමානන් ඉස්ලාමය වැළඳගත් සහාබිවරුන්ට (සහාබි යන නබිතුමාණන්ගේ කාලයේ අනුගාමිකයන්ට යෙදුනු නාමයකි) අන්‍ය ආගමිකයින්වු තමන්ගේ දෙමව්පියන්ට සලකන ලෙස දේශනා කළෝය.
ක්‍රිස්තියානි කාන්තාවකගේ අවමගුල් පෙරහැරකටද නබිතුමාගේ අනුගාමිකයින් සහභාගී වුහ.
යුදෙව් ජාතිකයෙකුගේ අවමගුල් පෙරහැරක් යනවිට නබිතුමා හුන් තැනින් නැගිට ගරුකළේය.
මුස්ලිම් හා මුස්ලිම් නොවන අය අතර සම්බන්ධතාව වර්ධනය කිරීමට අල්-කුර්ආනය මග පාදයි.(අල්කුර්ආනය 60:8)
එසේම අසල්වැසියන් අන්‍ය ආගමිකයින්වුවද ඔවුන්ට සැලකීම, ලෙඩ දුක් විමසීම ඔවුන් සමඟ ගණුදෙණු කිරීම ඉස්ලාමය දේශනා කරයි.
ධර්මය මුල්කොටගෙන යම් කෙනෙකු ඔබට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමට පෙර සටන් නොවදින ලෙස අල්-කුර්ආනය උපදෙස් දෙයි.
අන් ආගමිකයින් අතර බෙලහීන අයට කරුණාව දැක්වීම ඔවුන් අතර සිටින දිළිදු අයට උපකාර කොට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරදීම ඔවුන් අතර සිටින කුසගින්නෙන් පෙලෙන අයගේ කුසගින්න නිවා දැමීම, ඇදුම් නැති අයට වස්ත්‍ර ලබා දීම,ඔවුන් සමඟ සුහදව කතාබහ කිරීම, ඔවුන්ට යහමග පෙන්වන ලෙස ප්‍රාර්ථනා කිරීම, ඔවුන්ගේ රහස් හෙළිනොකිරීම, ඔවුන්ගේ පවුල් දේපල, ගරුත්වය හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීම ඔවුන්ට සිදුවන අසාධාරණත්වය පිටු දැක ඒවා නිරාකරණය කරදීමේ ප්‍රයත්නයට සහාය දැක්වීම යන කරුණු උපකාර කිරීම යන මාතෘකාව යටතේ විදහා දැක්වේ.(ඉමාම් අල්කරාබි – ග්‍රන්ථය : අල් බුරූක් – ජේදය: 3 පිටුව : 15)
උදව් කිරීම හා සාමුහිකව කටයුතු කිරීම (ලබාදීම හා ලබාගැනීම)
- එකට එක්වී කටයුතු කිරීම හා පරස්පර උදව් කිරීම උතුම් දෙයකැයි ශුද්ධ කුර්ආනයදේශනා කරයි. (අල්කුර්ආන් 60:8)
- අන්‍ය ආගමිකයින් පිළිරු වැදීමේ නිරතවුවද ඔව්හු මුස්ලිම්වරුන්ගෙන් අභය දානය ඉල්ලා සිටිනවිට ඔහුට අභයදානය ලබාදිය යුතුයි. කෙනෙක් අන්‍ය ආගමිකයෙකුව එළවන විට, ඔහුට ආරක්ෂාව සලසා දී සතුරා එම ස්ථානයෙන් බැහැරවුවායින් පසුව ඔහුව ආරක්ෂිත ස්ථානයකට කැඳවා යෑම මුස්ලිම්වරයෙකුගේ යුතුකමකි.
- මක්කාවේ(අන්‍ය ආගමිකයින් විසු) සාගතයක් හටගත් අවස්ථාවේදී මදීනාවේ සිට දීනාර් 500 ක් සහනාධාර වශයෙන් නබිතුමා යැව්වෝය.
- හිජරත්(මක්කා නගරයේ සිට මදීනා නගරයට සංක්‍රමණය වන) අවස්ථාවේදී අන් අය විසින් තබා තිබු සියළු භාණ්ඩ ආරක්ෂා සහිතව ලබාදෙන ලදී.
- හිජ්රත (සංක්‍රමණ)යේදී නබිතුමාට මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කලේ අබ්දුල්ලා ඉබ්නුඋරෛකර් නැමැති අන්‍ය ආගමිකයෙකි.
- යහපත් කාර්යයන්හිදී එකතු වී කටයුතු කිරීමේ වැදගත් බව ඉස්ලාමය නිතර නිතර පෙන්වා දෙයි. නමුත් මුස්ලිම්වරු අන්ආගමිකයින්ගේ දෙවිඳුන්ගේ ඒකීයභාවයට විරුද්ධව කරන කැරළිකාරකම් වලට හා පාපකාමි ක්‍රියාවන්ට සහයෝගය නොදක්වති. නමුත් සමාජ සේවා හා රටේත්, සමාජයේත් දියුණුව පතා අන්අය සමඟ එක්වී කටයුතු කිරීමට බැදී සිටිති.මුහම්මද් නබිතුමාට නබිත්වය ලැබෙන්නට පෙර එනම් එතුමාගේ තරුණ කාලයේදී හිල්බුල් පුලුල් නමැති සංගමයට බැදී සමාජ සේවාවන්හි නිරතවුහ.අසාධරනයට ලක්වු අයට උදව් කිරීම සඳහාත් අක්‍රමිකතා සිදුකරන්නන්ට විරුද්ධවීම සඳහාත් යථෝක්ත සංගමය පිහිටුවාගන්නා ලද්දකි. කුසල් ක්‍රියා සඳහාත් දේව භක්තිය හා සම්බන්ධ ක්‍රියා සඳහාත් සහාය දක්වා උදව් කරන්න පාප ක්‍රියාවන්ට හා නොමඟ යන ක්‍රියාවන්ට උදව් නොකරන්න යනුවෙන් අල්-කුර්ආනය දේශනා කරයි (අල්කුර්ආන් 5:02)
- රටක,සෑම මිනිසාටම පාපය ගෙනදෙන මත්ද්‍රව්‍යය භාවිතය, අල්ලස, දුෂණය, වංචාව,පක්ෂපාතිත්වය, අසාධාරනය අක්‍රමිකතා තුරන්කිරීමට සියළු මුස්ලිම්වරු අන්‍ය ආගමිකයින්ට සහාය දැක්විය යුතුයි. මුස්ලිම්වරු තම මව්රටේ සිදුවන යහපත් ක්‍රියාවන්ට සහභාගීවිය යුතුයි.
- රටේ පාලන නීතියට අනුකූලව කටයුතු කිරීම මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය වගකීමෙකි.
- ඔබ හා ඔබේ අන්‍ය සමාජය අතර පවතින මතභෙදය මත ඔබ නීතියට පිටුපා කටයුතු කිරීමෙන් වැලැකී සිටිය යුතුයි. නීතියට අනුව කටයුතු කරන්න. එය දෙවියන් කෙරෙහි පවතින්නාවු භක්තිය තවදුරටත් තහවුරු කරයි. (අල්කුර්ආන් 05:08)
- ඉස්ලාමීය රාජ්‍යයේ 4 වෙනි නායකයාවු (4 වෙනි කලීපා(අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) අලි තුමාගේ පලිහ යුදෙව්වෙකු විසින් පැහැරගත් (සොරකම් කළ) අවස්ථාවේදී විනිසුරුවෙක් ඉදිරියේ පමුණුවන ලද අතර එම අවස්ථාවේදී කලීපාතුමාට පක්ෂව සාක්ෂියට සිටියේ එතුමාණන්ගේ පුත්‍රයා පමණි. නමුත් එතුමාගේ පුතාගේ පමණක් දුන් සාක්ෂිය ප්‍රතික්ෂේප කල විනිසුරුවරයා යුදෙව් ජාතිකයාට පක්ෂව තීන්දුව දුන්නේය.
- මිනිස් ජීවිත ඔවුන්ගේ අයිතීන් ආත්ම ගරුත්වය ආරක්ෂා කිරීමේ දිමිමත් ගිවිසුම සකස්කරන ලදී.
- වැරදිවලට සමාව දීමේදි ප්‍රමුඛත්වයක් දිය යුතු බව අවධාරණය කරන ලදී.
ගිවිසුම්වලට ගරු කිරීම
මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමා සිය ජීවිත කාලයේදී අන්‍ය ආගමිකයන් සමග ඇතිකර ගත් හුදෙයිබියා ගිවිසුම, මදීනා ගිවිසුම නජ්රාත් දේශයේ ගිවිසුම නබිතුමා හා මුස්ලිම්වරු විසින් අකුරට පිලිපදින ලදී.
- ගිවිසුම් ආරක්ෂා කරන්න. මන්දයත් අවසාන දිනයේදී ගිවිසුම් ගැන විමසන ගැන විමසනු ලැබේ. (අල්කුර්ආන් 17:34)
- මිත්‍රද්‍රෝහිවීම බරපතල වරදකි. පොරොන්දු ඉටු කරන්න මෙසේ අන්‍ය ආගමිකයින්
- මිත්‍රද්‍රෝහිවීම බරපතල වරදකි. පොරොන්දු ඉටු කරන්න මෙසේ අන්‍ය ආගමිකයින් අතර අනොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහාත්, ගැටුම්වලින් වලකින්නත් නබි(සල්) තුමා විවිධ අවස්ථාවල ගිවිසුම් ඇතිකරගත්හ.(මානව හිතවාදි මුහම්මද්තුමා-නයීම් සිද්දීක් – ග්‍රන්ථය)
යුධ ආචාර ධර්ම ආරක්ෂා කිරීම
- බලෙන් යුද්ධ කිරීමට පොළඹවන අවස්ථා එලඹනු විට යුද්ධ කිරීමට සිදුවුවහොත්අනිවාර්යයෙන්ම යුධ ධර්මය පිලිපදින ලෙස ඉස්ලාමය දේශනය කරයි. යුද්ධ කළ යුතු වන්නේ යුද්ධ කිරීම හැර වෙන විකල්පයක් නොමැතිනම් පමණි.
- පීඩනය, අවනීතිය, අරාජිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීම, සාමය සඳහා වාතාවරණයක් නොමැති විට යුද්ධ කළ යුතුයි. යුද්ධ කිරිමටම සිදුවුවහොත් යුධ ආචාර ධර්ම සීමාව ඉක්මවා නොයා යුතුයි, යුද්ධයට සම්බන්ධ නොවන අයට හිංසා නොකළ යුතුය. යුද්ධය සිදු කරන ප්‍රදේශයේ ඉදි කිරීම් බිඳ දැමීම, ගස් හා සතුන් කපා දැමීම සම්පුර්ණයෙන් තහනම්ය.
- යුද්ධයකදී දරුවන්, කාන්තාවන්, මහල්ලන් හා පුජකයින්ට හානි සිදුනොකල යුතුයැයි ඉස්ලාමය දේශනා කරයි
මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරමින් ජිවත්වීමට ඉඩ දිය යුතුයි.
සාමුහික ජීවිතය සඳහා දරණ ප්‍රයත්නය කැපවීම් මත පමණක් යථාර්ථය බවට පත්වේ. යනුවෙන් ඉස්ලාමය කියයි.
පොදු ප්‍රශ්නවලදී සාමුහිකව කටයුතු අතරම ඔවුනොවුන්ගේ අනන්‍යතාවයන් සම්බන්ධ අවස්ථාවලදී ඇතිවන වෙන්වීම් දරාගත හැකිවිය යුතුයි.
මුස්ලිම්වරු තමන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කර ජීවත්වීමට මුස්ලිම් නොවන අය සහාය දැක්විය යුතුයි. මුස්ලිමවරු තමන්ගේ විශ්වාසය, සභ්‍යත්වය හා සංස්කෘතිය යන කරුණු වලදී මුස්ලිම් නොවන අයගෙන් වෙනස්වන විට මුස්ලිම් නොවන අය එයට ගරු කල යුතුයි. එසේම මුස්ලිම්වරු මුස්ලිම් නොවන අයටද ගරු කල යුතුයි. සාමයෙන් අන් අය සමඟ ජීවත්විය යුතුයි
