Published by Anver on 03 Jan 2010 at 12:00 am
ඉස්ලාමීය විශ්වාසයේ අනිවාර්‍ය වන කරුණු
ඉස්ලාමීය විශ්වාසයේ අනිවාර්‍ය වන කරුණු
أركان الإيمان
නියක වශයෙන්ම අපගේ ප්‍රකාශයේ (කථාවේ) හා ක්‍රියාවේ වලංගුභාවය හෝ පිළිගැනීම රඳා පවතින්නේ, නිවැරදි ප්‍රතිපත්තිය මත බව අල් කුරානයේ හා අල් හදීසියේ (නබිතුමාණන් පැවසු වදන්) ආධාරයෙන් අපට දැක ගත හැක. එමනිසා ප්‍රතිපත්තිය නිවැරදි නොවන්නේද, එවිට එම ප්‍රතිපත්තියෙන් සිදුවන සියළු ප්‍රකාශයන් හා ක්‍රියාවන් අවලංගුවේ. ඒ ගැන අල්ලාහ් මෙසේ පවසන්නේය.
وَمَن يَكْفُرْ بِالإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ
තවද, කවරෙකු විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුගේ ක්‍රියාව විනාශවේ. තවද ඔහු පරලොවෙහි අලාභයට පත්වූ අය සමඟ සිටී. (අල්කුර්ආන් 5: 5)
وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
තවද, (නබිවරය) ඔබ (දෙවිඳුන්ට) ෂිර්ක් කිරීමෙහි (සමාන ලෙස වෙන කිසිවෙක) යෙදෙන්නේද, ඔබගේ ක්‍රියා සියල්ල විනාශවේ. ඔබ අලාභ කරුවන්ගෙන් කෙනෙකු ලෙස පත්වේ. යනුවෙන් ඔබටත් ඔබට පෙර සිටී අයටත් වහී (දේව පණිවුඩ) මගින් පවසන ලදී. (අල්කුර්ආන් 39: 65)
නිශ්චය වශයෙන්ම නිවැරදි ප්‍රතිපත්තිය (අකීදා) වන්නේ, අල්ලාහ්ද, උන්වහන්සේගේ මලක්වරුන්ද (දේව දූතයන්ද), උන්වහන්සේගේ දේව ග්‍රන්ථද, උන්වහන්සේගේ මානව දූතයන්ද, ලොව අවසාන දිනයද, හා ඉරණමද චිත්ත පාරිශුද්ධියෙන් විශ්වාස කිරීම බව අල්කුර්ආනය හා අල් හදීසය (නබිවදන්) අනාවරණය කරයි. එබැවින්, මුස්ලිම් අප විශ්වාස කරන පරිදි මෙම කරුණු හය නිවැරදි (පැහැදිළි) මූලික ප්‍රතිපත්තියයි. ඒ මන්දයත්, අල්ලාහ් දේව ග්‍රන්ථ පහළ කළේද, මුහම්මද් (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමා මෙලොවට පහල කළේද, මෙම නිවැරදි ප්‍රතිපත්තිය උදෙසාය. මෙය ඊමාන් (මුස්ලිම් වරයෙකු විසින් විශ්වාස කළ යුතු) අනිවාර්ය කරුණු ලෙස හැඳින්වේ.
1. වන විශ්වාසය දෙවිඳුන් වන අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම
මෙය නැමදීමට සුදුස්සා හා හිමිකාරයා අල්ලාහ් හැර අන් කිසි කෙනෙකු නොමැති බව විශ්වාස කිරීමයි. මක්නිසාදයත්, උන්වහන්සේ උන්වහන්සේගේ දාසයන් මවන්නාය. ඔවුන්ට උපකාර කරන්නාය. ආහාර සපයන්නාය. ඔවුන්ගේ රහස හා පරහස දැන සිටින්නාය. ඔවුන්ගෙන් අවනතවන්නන්ට (ඇඳහීම් කරන්නන්ට) ත්‍යාගද, පාපකරුවන්ට දඩුවමද ලබාදීමට ශක්ති වන්තයාය. අල්ලාහ් මිනිස් හා ජින් වර්ගයන් මවා මෙම ඇදහීම් ඉටු කිරීම සඳහා ඔවුන්ට අණ කළාය. අල්ලාහ් මේ බව මෙසේ පවසන්නේය.
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ . مَا أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَا أُرِيدُ أَن يُطْعِمُونِ . إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِالْمَتِينُ
තවද, ජින් හා මිනිස් වර්ගයන් මාහට ඉබාදත් (සම්පූර්ණයෙන් අවනතවී මාගේ අණ පිළිගෙන ජීවත්වීමට හා මාහට පමණක් වැඳුම් පිඳුම්) කිරීමට හැර මා මැවුයේ නැත. මා කිසියම් සම්පතක් හෝ ඔවුන්ගෙන් අපේක්ෂා නොකරමි. මට ඔවුන් ආහාර සැපයීමද අපේක්ෂා නොකරමි. නියතවශයෙන්ම අල්ලාහ් තආලා ආහාර සපයන්නාය. බලවත් ශක්ති වන්තයාය. (අල්කුර්ආන් 51: 56-58)
අල්ලාහ් තආලා දූතයන් එව්වේද, දේව ග්‍රන්ථ පහළ කළේද මෙම සත්‍යතාවය පැහැදිළි කිරීමටත් එය කරා කැඳවීමටත් එයට විරුද්ධ දේයින් වැළකී සිටීමටත්ය. අල්ලාහ් මේ බව මෙසේ පවසන්නේය.
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ
නියතවශයෙන්ම ඔබ අල්ලාහ්ටම වැඳුම් පිඳුම් කරන්න. තාගූන් (ෂෛතාන්) වරුන්ගෙන් වැළකින්න. යනුවෙන් පැවසීම සඳහා අපි සෑම සමාජයටම රසූල්වරුන් (දූතයන්) එව්වෙමු. (අල්කුර්ආන් 16: 36)
මෙම ඉබාදතයෙ (නැමදුමෙ) හි යථාර්තය වන්නේ, ප්‍රාර්ථනා කිරීම, දේව භය, අපේක්ෂා කිරීම, නැමදීම, උපවාසයේ යෙදීම, කැපීම, භාර ඔප්පු කිරීම හා වෙනත් ඇදහීම් සියල්ල අල්ලාහ් වෙනුවෙන් යන චින්ත පාරිශුද්ධියෙන් උන්වහන්සේ ඒකත්වයට පත් කිරීමයි. මෙය සම්පූර්ණ ආදරයෙන් යුත් ඇල්මෙන්ද, දේව බියෙන්ද තිබිය යුතුයි. ශුද්ධවූ අල් කුර්ආනයෙහි බහුල ලෙස සඳහන් වන්නේ මෙම වැදගත් මූලික කරුණු පිළිබඳවයි. අල්ලාහ් මේ ගැන මෙසේ පවසන්නේය.
فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ . أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ
ඔබ දහම කෙරෙහි පාරිශුද්ධියෙන් අල්ලාහ් නමදින්න. දැනගන්න, පාරිශුද්ධ ආගම (ට අයත් නැමඳුම් සියල්ල) අල්ලාහ්ටම හිමිවේ. (අල්කුර්ආන් 39: 2,3)
وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ
උන්වහන්සේට පමණක් හැර (අන් කිසිවෙක්ව) ඔබ නොඅදහන ලෙස ඔබේ දෙවිඳුන් නියම කරයි. (අල්කුර්ආන් 17: 23)
فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
එනිසා, කාෆිර්වරුන් ප්‍රතික්ෂේප කළත්, ඔබගේ ආගම (සම්පූර්ණයෙන්ම) අල්ලාහ්ටම හිමිකරමින් චින්ත පාරිශුද්ධියෙන් උන්වහන්සේ වෙතම ප්‍රාර්ථනා අයදින්න. (අල්කුර්ආන් 40: 14)
අල්ලාහ් තම දාසයන්ට අනිවාර්ය කළ සියළු දේ හා ඉස්ලාමයෙහි බාහිර කරුණු මගින් ඔවුන්ට නියම කළ දේ විශ්වාස කිරීමද, අල්ලාහ් විශ්වාස කිරීමකි. ඒවා, වැඳුම් පිඳුම් කිරීමට අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බවත්, නබි (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමා අල්ලාහ්ගේ මානව දූතයා බවත් සාක්ෂි දීම, සලාත් නම් වූ නැමැදුම ඉටුකිරීම, සකාතය ගෙවීම, රාමසාන් උපවාසයේ යෙදීම හා ශක්තිවන්තයන් හජ් කර්තව්‍යය ඉටුකිරීම යනාදීයන්ද, ෂරීආ (නීති රීති) අනිවාර්ය කළ වෙනත් කාර්යයන්ද වේ. මෙයින් උතුම් හා වැදගත් කරුණු වන්නේ
ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහ් යන කරුණයි.
මෙම විශ්වය මැව්වේද, තම ඥානය හා ශක්තිය මත ලොවැසියන් පාලනය කරන්නේද අල්ලාහ්ය. උන්වහන්සේ මෙලොව හා පරලොව පාලනය කරන්නාය. සෑම විශ්වයන්ගේම පාලකයාය. උන්වහන්සේ හැර කිසියම් මවන්නෙකුද, පාලකයෙකුද නොමැත. උන්වහන්සේ රසූල්වරුන් එව්වේද, දේව ග්‍රන්ථ පහළ කළේද දාසයන් ශීලාචාර කිරීමටද, ඔවුන්ගේ ජයග්‍රහණය උදෙසා කැඳවීමටද මෙලොව හා පරලොවෙහි ඔවුන්ගේ යහපතද උදෙසාය. මේ සියල්ලෙහි උන්වහන්සේට සමානව කිසියම් දෙයක් නොමැත. අල්ලාහ් මෙසේ පවසන්නේය.
اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ
අල්ලාහ් සියළු දේ මවන්නාය. තවද, උන්වහන්සේ සෑම දේ කෙරෙහි (සියළු) වගකිව යුත්තාය. (අල්කුර්ආන් 39: 62) අල්-කුර්ආනයෙහි හා නබිතුමාගේ වදන්වල සඳහන් අල්ලාහ්ගේ අලංකාර නාමයන් හා ශ්‍රේෂ්ඨ ලක්ෂණයන් කිසිදු වෙනස් කිරීමෙන්, වසංකිරීමෙන්, රූපගත කිරීමෙන් හා උදාහරණය කිරීමෙන් තොරව විශ්වාස කිරීමද අල්ලාහ් විශ්වාස කිරීමෙකි. ඒ සමගම, මෙම නාමයන් හා ලක්ෂණයන් මැවීම් වලට ඔප්පු නොකර, ලක්ෂණ කිරීමට සුදුස්සාවූ අල්ලාහ්ගේ මෙම නාමයන් හා ලක්ෂණයන් දැනුම් දෙන කරුණුද විශ්වාස කළ යුතුයි. අල්ලාහ් මෙසේ පවසන්නේය.
لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ البَصِيرُ
උන්වහන්සේ හා සමාන කිසි දෙයක් නොමැත. උන්වහන්සේ (සෑම දේ) කන්දී නෙත් යොමා සිටින්නාය. (අල් කුර්ආනය 42: 11)
2. මලක්වරුන් (දේව දූතයන්) විශ්වාස කිරීම
ඉස්ලාමය තුල මලක්වරුන් පිළිබඳ විශ්වාසය පොදුවෙන් හා පුළුල් වශයෙන් පවතී. එහෙයින්, මුස්ලිම්වරයෙකු අල්ලාහ්ට උන්වහන්සේ විසින් මවනලද මලක්වරුන් සිටින බවත්, ඔවුන් තමාගේ දෙවිඳුන් කෙරෙහි ඇදහීමෙහි නිරතවී සිටින බවත් විශ්වාස කළ යුතුයි. ඔවුන් විවිධ කණ්ඩායම් වශයෙන් සිටිති. ඔවුන්ගෙන් අර්ෂය (අල්ලාහ්ගේ සිංහාසනය) උසුලා සිටින අයද, ස්වර්ගය හා අපාය භාර අයද, දාසයන්ගේ ක්‍රියාවන් රකින අයද සිටිති. එසේම මුස්ලිම් වරයෙකු විසින් පුළුල් වශයෙන් අල්ලාහ් හා උන්වහන්සේගේ මානව දූත මුහම්මද් නබිතුමා විසින් නම් කළ දේවදුතයන්ද තරයේ විශ්වාස කළ යුතුය. ඔවුන් ජිබ්රීල්, මීකාඊල්, අපායේ භාරකරු මාලික්, සූර් පිඹීම භාර ඉස්රාෆීල් යන මෙවැන්නන්ය. මලක්වරුන් ගැන නබිතුමා පැවැසූ බව ආයිෂා (අල්ලාහ්ගේ තෘප්තිය ඇයට අත්වේවා) තුමිය මෙසේ පවසන්නීය.
[خلقت الملائكة من نور، وخلق الجان من مارج من النار، وخلق آدم مما وصف لك] (رواه مسلم)
මලක්වරුන් ආලෝකයෙන්ද, ජින්වරුන් දල්වන ගින්නෙන්ද, ආදම් (ප්‍රථම මිනිසා හා නබිවරයාවූ) ඔබලාට වර්ණනා කළ දේයිද (පස්වලින්ද) මවනලද්දේය. (මූලාශ්‍රය මුස්ලිම් ග්‍රන්ථය ඇසුරෙනි)
3. දෙවිඳුන්ගේ දේව ග්‍රන්ථ කෙරෙහි විශ්වාස කිරීම
අල්ලාහ් තම අභිමථාර්තය පැහැදිළි කිරීම හා උන්වහන්සේ කරා කැඳවීම සඳහා උන්වහන්සේගේ වක්තෘ (නබි) වරුන්ට හා දූත (රසූල්) වරුන්ට (මේ සියළුම දෙනා මානව දූතයන්ය) දේව ග්‍රන්ථ පහළ කළ බව කෙටියෙන් (පොදුවෙන්) විශ්වාස කළ යුතුයි. පුළුල් වශයෙන් තව්රාත්, ඉන්ජීල්, සබූර් හා අල් කුර්ආනය යනාදී අල්ලාහ් විසින් නම් කළ දේව ග්‍රන්ථයන් විශ්වාස කළ යුතුයි. අල් කුර්ආනය ඒවායින් ශ්‍රේෂ්ඨ හා අවසාන ග්‍රන්ථයයි. මෙම අල් කුර්ආනය විසින් කලින් පහල කළ අනෙකුත් දේව ග්‍රන්ථයන් ආරක්ෂා හා සනාථ කරයි. මෙය සෑම මිනිස් සමාජයන්ම පිළිපැදීමද, නබි තුමාගේ සුන්නා (හදීස්) නිවැරදි කළ දේ මගින් තීන්දු කිරීමද අනිවාර්‍යවේ. මක්නිසාදයත්, අල්ලාහ් මුහම්මදු (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) තුමාව සියළු දේවර්ගයන් (ජින් හා මිනිසුන්) කරා එවන ලදී. තවද, ඔවුන් අතර තීන්දු කිරීම සඳහාද, ඔවුන්ගේ සිතෙහි දේ (රෝගය)ට ඖෂධය වශයෙන්ද, සියළු දේ පැහැදිළි කිරීමක් වශයෙන්ද, සියළු ලොව වැසියන්ට යහමග හා කරුණාව වශයෙන්ද මෙම අල් කුර්ආනය ඔහුට පහළ කරන ලදී. ඒ ගැන අල්ලාහ් මෙසේ පවසන්නේය.
وَهَذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ
මිනිසුනි, මෙයද ධර්ම ග්‍රන්ථයෙකි. මෙය අපි පහළ කළෙමු. මෙය ප්‍රසංසා ලද ග්‍රන්ථයෙකි. එබැවින් ඔබලා මෙය පිළිපදින්න. තවද, ඔබලාට කරුණාව ලැබීම සඳහා උන්වහන්සේට බිය වන්න. (අල්කුර්ආන් 6: 155)
وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ
නබිතුවරය, මෙම ග්‍රන්ථය සියළුදේ පැහැදිළි කිරීමක්, යහමග යොමු කිරීමක්, දයාව සැලසීමක් හා සුභාරංචියක් වශයෙන් මුස්ලිම්වරුන්ට පහළ කළෙමු. (අල්කුර්ආන් 16: 89)
4. රසූල්වරුන් (දෙවිඳුන්ගේ මානව දූතයින්) විශ්වාස කිරීම
පොදුවෙන් හා පුළුල් වශයෙන් රසූල්වරුන් විශ්වාස කිරීම අවශ්‍යයයි. එනිසා, නිශ්චයවශයෙන්ම අල්ලාහ් තම දාසයන් වෙත සුභාරංචි පතන, අවවාද කරන, යථාර්තය කරා කැඳවන රසූල්වරුන් (දූතයන්) එවු බව විශ්වාස කළ යුතුයි. එනිසා කවරෙකු ඔවුන්ට ඇහුම්කන් (උත්තර) දෙන්නේද ඔහු භාග්‍යවන්ත ජයග්‍රාහිකයාය. තවද, කවරෙකු හෝ ඔවුන්ට විරුද්ධවන්නේද, ඔහු පරාජයට හා ශෝකයට පත්වන්නාය. ඔවුන්ගෙන් අවසාන හා ශ්‍රේෂ්ඨවන්තයා මුහම්මද් (එත්මන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා) නබිතුමාය. ඒ ගැන අල්ලාහ් මෙසේ පවසන්නේය.
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ
සත්‍යවශයෙන්ම, අල්ලාහ්ට වැඳුම් පිඳුම් කරන්න. තාගූන් (අල්ලාහ් හැර ඇදහීම් කරන අන් සියල්ල) ගෙන් ඈත්වන්න. යනුවෙන් දේශනා කිරීම සඳහා සෑම සමාජයක් කරාම අපි දූතයන් එව්වෙමු. (අල්කුර්ආන් 16: 36)
مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ
මුහම්මදු (එතුමන්ට ක්ෂාන්තිය සහ සාමය අත්වේවා)තුමා ඔබලාගේ කිසියම් පුරුෂයෙකුට පියෙකු ලෙස නොසිටියේය. නමුත්, ඔහු අල්ලාහ්ගේ දූතයා හා අවසාන නබිවරයා ලෙස සිටියේය. (අල්කුර්ආන් 33: 40)
පුළුල් වශයෙන් හා විශේෂයෙන් අල්ලාහ් හා නබි තුමා නම් වශයෙන් සඳහන් කළ රසූල් (දූත) වරුන් විශ්වාසකළ යුතුයි. ඔවුහු නූහ්, හූද්, සාලිහ්, ඉබ්‍රාහීම් හා වෙනත් නබිවරුන්ය. එතුමන්ට හා නබි තුමාට අල්ලාහ්ගේ උතුම් දයාව හා කරුණාව ලැබෙනු මැන.
5. අවසාන දිනය විශ්වාස කිරීම
අල්ලාහ් හා නබිතුමා පැවැසූ, මරණයෙන් පසූ සිදුවන සියළුදේ කෙරෙහි විශ්වාස කිරීම මෙයට අදාලවේ. එනම්, මිනීවළෙහි නොසන්සුන්තාවය, එහි භාග්‍ය හා වේදනාව, පරලොවෙහි සිදුවන බියජනකය හා අසීරුතාවය, සිරාත් පාලම, මීසාන් තරාදිය, ප්‍රශ්න කිරීම, ත්‍යග පිරිනැමීම, මිනිසුන් අතර (කුසල් හා අකුසල් ක්‍රියා සඳහන්) පුස්කොළය බෙදීම, එය වමතින් ලබා ගැනීම, දකුණතින් හෝ පිටිපසින් ලබාගැනීම යනාදීය විශ්වාස කළ යුතුයි.
තවද, නබිතුමාට පිරිනැමූ පොකුණ, ස්වර්ගය, අපාය, විශ්වාස වන්තයන් අල්ලාහ් බැහැ දැකීම, ඔවුන් සමග අල්ලාහ් කතා කිරීම සහ අල් කුර්ආනය හා හදීසය (නබි වදන්) මගින් ලැබූ මෙවැනි වෙනත් කරුණු ගැන විශ්වාස කළ යුතුයි. තවද එය අල්ලාහ් හා නබිතුමා පැහැදිළි කළ අයුරින්ම තහවුරු කළ යුතුයි.
6. කළා හා කද්ර් (ඉරණම – අපට සිදුවන හොඳ නරක සියල්ලක්ම දෙවිඳුන්ගේ අනුදැනුම ඇතිව පැමිණි බව) විශ්වාස කිරීම
මෙම විශ්වාසය කරුණු හතරක් මත පවතී.
1. නිශ්චය වශයෙන්ම, අල්ලාහ් පෙර සිදුවූ හා පසුව සිදුවන්නට යන දේද, තම දාසයන්ගේ ස්වභාවය, ආහාර පානය, ආයුෂ කාලය, ක්‍රියාව හා ඔවුන්ගේ වෙනත් කාර්යයන්ද දැන සිටින්නාය. උන්වහන්සේට කිසිදු දෙයක් සැඟවිය නොහැක. අල්ලාහ් මෙසේ පවසන්නේය.
إِنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
නිශ්චයවශයෙන්ම අල්ලාහ් සියළු දේම දැන සිටින්නාය. (අල්කුර්ආන් 9: 115)
2. උන්වහන්සේ සැලැසුම් කළ හා තීරණය කළ සියළු දේ ලිඛිතව තිබීම. අල්ලාහ් මෙසේ පවසන්නේය.
وَكُلَّ شَيْءٍ أحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ
තවද, සෑම දෙයක්ම අපි පැහැදිළි ග්‍රන්ථයෙහි ආරක්ෂා කොට තිබෙන්නෙමු. (අල්කුර්ආන් 36: 12)
3. උනවහන්සේගේ පැවැතීමේ හැකියාව විශ්වාස කිරීම, එය උන්වහන්සේ සිතන දේ සිදුවීම හා නොසිතන දේ නොසිදුවීමය. ඒ ගැන අල්ලාහ් මෙසේ පවසන්නේය.
كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاءُ
එසේම අල්ලාහ් තමා සිතන දේ කරන්නේය. (අල්කුර්ආන් 3: 40)
4. උනවහන්සේ ලොවෙහි සියළු දේ මැවීම, උන්වහන්සේ හැර මවන්නෙකු හා පාලකයෙකු නොමැත. අල්ලාහ් මෙසේ පවසන්නේය.
ذَلِكُمُ اللّهُ رَبُّكُمْ لا إِلَهَ إِلاَّ هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ
උන්වහන්සේ නම් ඔබලාගේ දෙවිඳුන්වූ අල්ලාහ්ය. උන්වහන්සේ හැර අන් කිසි දෙවියෙකු නොමැත. සැමදේ මවන්නා උන්වහන්සේය. එබැවින්, උන්වහන්සේටම අවනතවී වැඳුම් පිඳුම් කරන්න. තවද, උන්වහන්සේ තම සියළු කාර්යයන් නිරීක්ෂන කරන්නාය.
(අල්කුර්ආන් 6: 102)
