ඉස්ලාමීය සදාචාරය

ඉස්ලාම්හි මානව මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. ඊට සෑම මොහොතකදීම ගරු කළ යුතුය. ඒවා පිලිපැදිය යුතුය. යතෝකත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව, ඵලදායී සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම් ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික සහ පොදු යහපත පිණිස සිදුකරන්නාවූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් (දෙවිඳුන්) කෙරෙහි දක්වන ප්‍රේමයට අතීශය වැදගත් ස්ථානයක් දෙන ඉස්ලාම් දහම ගතානුගතිකත්වයට වහල් වී සිටීමේ ක්‍රියාදාමයට එරෙහිව අනතුරු අඟවයි.

පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලයන් වන්නේ අල්ලාහ් (දෙවිඳුන්), අවසන් විනිශ්චය දිනය, සහ දේවදූතයන්, දහම්, සහ මානව දූතයන් (නබිවරුන්) කෙරෙහි විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් (දෙවිඳුන්) කෙරෙහි ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයන්, දිලිඳුන්, මගීන් සහ යාචකයන් වෙනුවෙන් ස්වකීය ධනයෙන් වියපැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාල වතාවත් පිරීම, සකාත් (දුගී බද්ද) ගෙවීම, පොරොන්දු ඉටු කිරීම සහ දුක්, පීඩා, ඛේදයන්හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නන් සැදැහැවතුන්ය. මෙවැන්නන් අල්ලාහ් (දෙවිඳුන්) ට බිය ඇත්තෝ වෙති.

(ශුද්ධවූ අල්-කුර්ආනය 2. 177)

මෙම පදයන්හි, සිල්වත් සහ අල්ලාහ් (දෙවිඳුන්) කෙරෙහි බියබැතියන් පිළිබඳව විසිතුරු විග්‍රහයක් කෙරේ. මිනිසා විනයාචාර ධර්ම පිළිපැදිය යුතු වන අතරම අල්ලාහ් (දෙවිඳුන්)ට සහ හුදී ජනතාවට ස්නේහවත් වීමෙහිලා නිරතුරු සැලකිලිමත් විය යුතුය. මෙහිලා අවශ්‍ය වන කාරනා සතරක් ඇත.

  1. අපගේ ඊමාන් (විශ්වාසය-භක්තිය) අව්‍යාජ සහ අවංක එකක් විය යුතුය.
  1. සහෝදර ජනතාවට ක්‍රියාකාරී වශයෙන් දාන පරිත්‍යාග කළ යුතුය.
  1. සමාජ සංවිධාන යනාදියේ ක්‍රියාශීලීව යෙදෙමින් හොඳ පුරවැසියෙක් විය යුතුය.
  1. සෑම විටකම, සෑම මොහොතකම මානසික චිත්ත ඒකග්‍රතාවය පවත්වා ගත යුතුය.

කිසියම් හැසිරීමක් හෝ කල් ක්‍රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක ක්‍රමවේදයක්ම මෙකී විනිශ්චය ක්‍රමය වටා පරිබ්‍රමණය වේ. මිනිසෙකු කෙරෙහි සදාචාරත්මක අණපනත් පැනවීමට පෙරාතුව, ඔහුගේ සෑම කටයුත්තක්, ක්‍රියාවක්ම මෙන්ම සෑමතැනකදීම, සෑම මොහොතකදීම අල්ලාහ් (දෙවිඳුන්) හට ඔහු කරන ක්‍රියාවන් සැඟවිය නොහැකි බව, මුළු ලොකයටම රහසින් කලත් අල්ලාහ් (දෙවිඳුන්) හට රහසක් නොවන බව, කවරෙකුගේ ග්‍රහණයෙන් මිදුනද අල්ලාහ් (දෙවිඳුන්) ගේ ග්‍රහණයට හසුවුවහොත් මිදිය නොහැකි බව, යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාම් වෙර දරයි. මෙසේ අල්ලාහ් (දෙවිඳුන්)ගේ ප්‍රසාදයට ඉවහල් වූ දේ මිනිස් ජීවිතයේ පරමාර්ථය විය යුතු බව නිර්නය කොට, ඉස්ලාම් දහම මගින් සදාචාරාත්මක වශයෙන් වූ උසස් තත්වයද සලසා දෙනු ලැබේ. මෙමගින් මානව සදාචාරාත්මක සංවර්ධනයේ අසීමිත අගයක් ඇති කිරීමෙහිලා ඉවහල් වේ. මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) තුමණන්ට ලැබුණු දිව්‍යමය හෙළිදරව් වීම් (වහී) යනු ප්‍රඥාවේ මූලාරම්භය යයි සලකා, මේ සදාචාරාත්මක තත්වයනට අනම්‍ය බව සහ ස්ථාවරත්වය ලබා දෙනු ලැබේ. සාධාරණ හේතු සාධක අනුව මූලධර්ම වලට හානියක් නොවන ආකාරයට චර්යාවේ හැඩගැස්වීම් අභ්‍යාස කිරීම සහ වෙනස් කිරීම් කර ගත හැක. එහෙත් සිතා මතා සිදු කරන වරදක් වශයෙන්, බැරෑරුම් වෙනසක් සිදු කිරීමක් හෝ සදාචාරය ලිහිල් කිරීමක් හෝ පවත්නා අඛන්ඩ භාවය කඩකරන්නක් වශයෙන් එබඳු වෙනස්කම් සිදු කල නොහැක. අල්ලාහ් (දෙවිඳුන්) කෙරෙහි ඇල්ම සහ භක්තිය හේතුවෙන් වූ සදාචාරයනට මෙමගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බලපෑමකින් තොරව මිනිසා සදාචා‍රයේ මග ඔස්සේ ගමන් කරවනු ඇත. අල්ලාහ් (දෙවිඳුන්) සහ අවසන් විනිශ්චය දිනය පිළිබඳ විශ්වාසය සහිතව ඉතා ඕනෑ කමින් සහ උනන්දුවෙන්ද අවංකව එමෙන්ම හෘදයංගම ලෙස සදාචාරාත්මක පැවතුම් සකසා ගනු පිණිස, මිනිසාට හැකියාවක් ඇති වේ‍.

මෙම සදාචාරාත්මක නීතිරීතීන් කෙරෙහි ව්‍යාජ ස්වභාවයක් නැත. අමුතු ආටෝපද නැත. හේතු විරහිතව හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශයක් අමතක කොට හැර දමා නැත. ව්‍යවහාරයේ පවතින සියළුම සදාචාරාත්මක විනයයන් ගැන සලකා බලා ඇත. ඒ ඒ තැන්හි එකිනෙක උචිත ලෙස පිහිටුවා ජීවන සැලැස්මක් තුල සමස්තයක් වශයෙන් ඉඳුරාම ක්‍රියාත්මක වන පරිදි වගබලාගෙන ඇත. මෙමගින් මිනිසාගේ පෞද්ගලික සහ සාමූහික ජීවන අරමුණු පුළුල කරවනු ඇත. මිනිසාගේ ගෘහස්ත හැසිරීම්, පෘතග්ජන පැවතුම් මෙන්ම, දේශපාලනික, ආරථික, අධිකරණ, අධ්‍යාපනික සහ සමාජීය ක්ෂේස්ත්‍රයන්හි ක්‍රියා කටයුතු වලදී පිළිපැදිය යුතු සාදාචාරාත්මක විනය ධර්මයන් විග්‍රහ කෙරේ. ඉස්ලාමීය සදාචාරයෙන්, මිනිස් ජීවිතය නිවසින් සමාජය දක්වාත් කෑම මේසයේ සිට යුධපිටිය සහ සාම සම්මේලන දක්වාත්, කොටින්ම තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සිටිය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමීය සදාචාරය තුල මේ කිසිදු අංශයක් ගිලිහී නොමැත. කිසිදු ක්ෂේස්ත්‍රයක් ගිලිහී නොමැත. එය අවබෝධාත්මකය. එමගින් ජීවිත ක්‍රියාවලිය උතුම් පරමාර්ථ සහිතව ඉටු කරවනු ලැබේ. මෙහිලා ආත්මාර්ථකාමී හෝ පහත් ලාභ අපේක්ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩක් නොමැත.

ඉස්ලාමීය විනය පද්ධතිය තුල යහපත් පැවතුම් සහිත, අයහපත් පැවතුම් වලින් මිදුණාවූ සාර්ථක ජීවිතයක් සඳහා ‍පෙළඹවීම් සිදු කෙරේ. සිල්වත් ශික්ෂාකාමීත්වයක් පමණක් නොව එකී යහගුණ ප්‍රගුණ කිරීමටත් කෙලෙස් දමනය කොට ගුණදහම් පුහුණු කිරීමටත් නුගුණදහම් තුරන් කිරීමටත් පොලඹවනු ලැබේ. හෘදය සාක්ෂියට එකඟ වූ දිවිපෙවෙතක් සකසා ගැනීමටත්, කවර අවස්ථාවක් යටතේ වුවද වරදට යොමු වීමෙන් වැලකී සිටීමටත් ඉස්ලාමීය සදාචාරයේ අරමුණු වේ. මෙම ඇරයුමට ප්‍රතිචාරයක් දක්වන්නෝ, ඒකීය සමාජයක් වශයෙන් එක්රැස් කරනු ලැබ මුස්ලිම් යන නමින් හඳුන්වනු ලබති. මෙම සමාජයේ (උම්මාහ්) සාමූහික වශයෙන් එක්සත් වෙමින් යහපත ස්ථාපනය කිරීමට සහ අයහපත මුලිනුපුටා දැමීමට වෙර දැරිය යුතුය. මුස්ලිම්වරයෙකුගේ ජීවිතයේ විවිධ අංශයන් හිදී බලපාන අයුරින් උගන්වන ලද සදාචාර මූලධර්මයන් කිහිපයක් පහත දක්වමි.

අල්ලාහ් (දෙවිඳුන්) පිළිබඳ මතකය

මේ වූ කලී මුස්ලිම්වරයෙකු තුල පිහිටිය යුතු උසස්තම ලක්ෂණය වශයෙන් ශුද්ධවූ අල්කුර්ආනයේ සඳහන් වේ.

ඔබ අතුරින් අතිශය සම්මානනීය අය වූ කලී, අල්ලාහ්  (දෙවිඳුන්) අභියස, අල්ලාහ් (දෙවිඳුන්) පිළිබඳව මනා සිහියක් සහිත පුද්ගලයාය.

ශුද්ධවූ අල්කුර්ආන් 49. 13

අවනත භාවය, සන්සුන්, තැන්පත් භාවය, ආත්ම දමනය, සත්‍යවාදී භාවය, විනීත භාවය ඉවසිලිවන්ත භාවය, ස්ථාවරත්වය සහ පොරොන්දු ඉටු කිරීම් යනාදිය ශුද්ධවූ අල්කුර්ආනයෙන් පුනපුනා ඉගැන්වෙන සාදාචාරාත්මක විනයන්ය.  ශුද්ධවූ අල්කුර්ආනයේ ‍මෙසේ සඳහන් වේ.

තවද අවංක සහ ස්ථාවර වූවන්ට අල්ලාහ් (දෙවිඳුන්) ඇළුම් කරයි.

ශුද්ධවූ අල්කුර්ආන් 3. 146

යහපත සිදුකරන්නන්ට අල්ලාහ් (දෙවිඳුන්) යහපත සලසන බැවින් ඔබගේ රක්ෂකයාණන්ගෙන් කමාව ලබන පිණිසත් උන්වහන්සේ පිළිබඳව මතක‍යෙන් යුතුව ඇති කල්හි සහ නොමැති කල්හි දන්පින් කරන්නාවූත්, කෝපය දමනය කර ගන්නාවූත්, සහෝදර දණන් (ගේ වරදට) සමාව දෙන්නාවූත් පින්වතුන් සඳහා, වෙන් කොට ඇති ස්වර්ග සම්පත්තිය පිණිසත් ඔබ තරඟකාරීව ඉදිරිපත් වන්න.

ශුද්ධවූ අල්කුර්ආන් 3. 133-134

නිසි කල සලාත් (නැමදුමෙ)හි යෙදෙන්න, යුක්තිය ඉටුකරන්න, වරදින් මිදෙන්න, කුමක් සිදුකලත් ඉවසිලිවන්ත වන්න, එය වෙනස් නොවන ධර්මතාවයකි. අනුන් අභියස අහංකාර නොවන්න. මහපොලොව මත අවිනීත ලෙස ගමන් නොකරන්න. අල්ලාහ් (දෙවිඳුන්) උඬඟු සහ පුරසාරම් දොඩනන්නන් නුරුස්සයි. ඔබගේ (පා) පියවර අතර සාමාන්‍ය ප්‍රමාණයේ පරතරයක් තබා ගන්න. කටහඬ පහත් කරගන්න. උස් හඬින් කරන කථාව, ඇත්තෙන්ම බූරුවාගේ බෙරිහන්දීම බඳුය.

ශුද්ධවූ අල්කුර්ආන් 31. 18-19

මුස්ලිම්වරයෙකුගේ විනය ගරුක හැසිරීම ලුහුඬින් දක්වන විලාශයෙන් මුහම්මද් (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) නබි තුමාණන් මෙසේ ප්‍රකාශ කරන ලදී.

මගේ ආරක්ෂකයාණන් මට අණපනත් නවයක් පවරා ඇත. එනම් හුදකලාව හෝ සාමුහිකව සිටියත් නිරන්තරයෙන්ම අල්ලාහ් (දෙවිඳුන්) කෙරෙහි සිහිය, කෝපාවිශ්ඨව හෝ සතුටු සන්සුන්ව සිටියත් යුක්තිය තෙපලීම, දුප්පත්ව හෝ ධනවත්ව සිටියදීම තැන්පත් වීම, මාර්ගයෙන් ඉවත් වුවත් යළි ලංකර ගැනීම, මා පිටු දකින උදවියටත් උපකාර කිරීම, නිසොල්මන්ව සිටියදී චින්තනයෙහි යෙදීම, මා බලන බැල්ම අවවාදානුශාසනාවක් වීම සහ නිවැරදි දේ අවධානය කරවීම යන කාරණා නවයයි.

සමාජයීය වගකීම්

ඉස්ලාමීය ඉගැන්වීමට අනුකූලව, සමාජයීය වගකීම් වනාහී කරුණාව සහ පරාර්ථය පිණිසම විය යුතුවේ. විශේෂ අවස්ථාවන්හිදී කරුණාව පිළිබඳව වූ මෙකී පුළුල් ශීලය නොසලකා හරිනු ලබන බැවින්, විවිධ අවස්ථාවන් පිලිපැදිය යුතු කරුණාව පිළිබඳ විශේෂ ක්‍රියාවන්, වගකීම් සහ සම්බන්ධතා පිළිබඳව විග්‍රහ කෙරේ. සම්බන්ධතා පිළිබඳව පුළුල්ව සැලකීමේදී අපගේ මූලික වගකීම වනුයේ, දෙගුරුන්, සැමියා, අඹුදරුවන් සහ ඉන්ඉක්බිතිව සෙස ඥාතීන්, අසල්වැසියන්, මිතුරන් සහ දන්නා හඳුණන අය, අනාථයන් සහ වැන්දඹුවන්, ස්වකීය සමාජයේ දිලිඳුන්, සහෝදර මුස්ලිම්වරු, සකල මිනිසුන් සහ සත්වයින්ද කෙරෙහිය.