විශ්වය මවා එහි ඇති සියල්ල පාලනය කරන්නාවූ දෙවිඳුන් වන සර්වබලධාරී අල්ලාහ් විසින් අපහට දෙවා වදාල මෙම ජීවිතය අතීශයින් භාග්‍යයක් වුවද ජීවිතය යනු ඉතා භාරදූර වගකීමකි. එයට හේතුව නම් ඉස්ලාමය පවසන පරිදි මෙම ජීවිතය අපට දෙවිඳුන් විසින් ලබා දී ඇති තාවකාලික පරීක්ෂණයකි. සත්‍ය වශයෙන්ම අපගේ මෙලොව ජීවිතය යනු ඉතා කෙටි කාලයකි. එමෙන්ම එම කාලය කෙදිනක අවසන් වනවාදැයි අප කිසිවෙකු  හෝ නොදනී. එම නිසා අපගේ ජීවිතයේ කාලය යනු ඉතාමත් වැදගත් සාධකයකි. එමනිසා කාලය ගැන අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පැවසූ වදන් සහ කළ ක්‍රියාවන් කිහිපයක් පහත දැක්වේ.

(දෙවිඳුන්ගේ) භාග්‍යයන් දෙකක් ගැන මිනිසුන් අධිකව නොසැලකිලිමත්ව සිටිති. ඒවා නම් නිරෝගීතාවය සහ විවේකයයි යනුවෙන් මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) විසින් වාර්තා කර ඇත.

මූලාශ්‍රය බුහාරි ග්‍රන්ථය

අල්ලාහ්ගේ දූතයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් (ඉස්ලාමීය කැලැන්ඩරයෙහි) රමදාන් මාසයේ (මෙම මාසය මුස්ලිම්වරු සිය උපවාස ශීලය ඉටුකරන මාසයයි) අවසන් දින දහය පැමිණෙන විට රාත්‍රී කාලයෙහි අවදිව සිට උනන්දුවෙන් සහ නිර්භීත භාවයෙන් (නැමදුමෙහි යෙදෙමින්) එම රාත්‍රීන් යහකම් මගින් ප්‍රාණවත් කරන්නේය. එසේම තම පවුලේ ඥාතීන්ද අවදි කරන්නේය යනුවෙන් ආයිෂා (ඇයට අල්ලාහ්ගේ තෘප්තිය හිමිවේවා) තුමිය වාර්තා කරන්නීය.

මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම් ග්‍රන්ථ

විනිශ්චය දිනයෙහිදී මිනිසාගෙන් තම ජීවිතය කෙලෙස ගත කළේද? තම තරුණ විය කෙලෙස ගත කළේද? තම සම්පත් කෙලෙස උපයා ගත්තේද? එය කෙලෙස වියදම් කළේද? තම දැනුමේ ඥාණයෙන් කුමණ ක්‍රියාවන් ඉටු කළේද? යන කරුණු පහක් ගැන ප්‍රශ්ණ කරන තෙක් ඔහුගේ පාද තමන්ගේ ස්වාමියාගේ සිට ඉවත් නොවන්නේය යැයි මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පැවසු බව ඉබ්නු මස්ඌද් (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) වාර්තා කර ඇත.

මූලාශ්‍රය තිර්මිදි ග්‍රන්ථය

කවරෙක් (මංකොල්ල කරුවන් කෙරෙහි) බියට පත්වන්නේද, ඔහු පෙරයාමයෙහි ගමන ආරම්භ කරත්වා. කවරෙක් පෙරයාමයෙහි ගමන ආරම්භ කරන්නේද, ඔහු සිය (ගමනෙහි) ඉලක්කය දකිනු ඇත. දැනගන්න සැබවින්ම අල්ලාහ්ගේ සම්පත වටිනාකම් සහිතය. දැනගන්න අල්ලාහ්ගේ සම්පත ස්වර්ගයෙකි. යනුවෙන් නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් පැවසු බව අබුහුරෛරා (අල්ලාහ්ගේ තෘප්තිය ඔහුට අත්වේවා) වාර්තා කර ඇත.

මූලාශ්‍රය තිර්මිදි ග්‍රන්ථය

මෙම නබිවදන් මගින් අපට පෙන්වාදෙන පලමුවන කාරණය නම් කාලය ඉතා ඵලදායිව කලමනාකරණය කිරීමේ වැදගත් කමයි. ජීවිතයේ සෑම කටයුත්තක් කරන විටම අවදියෙන් දෙවිඳුන් ප්‍රසන්න වන ආකාරයට අප ගෙන යාමයි.

දෙවැනි කාරණය නම් මිනිසා තමන් විසින් මෙලොව ගත කරන්නා වූ කාලය ගැන ලොව අවසානයේ දෙවිඳුන් අභියස විනිශ්චය දිනයෙහිදී දෙවිඳුන්ට වගකිව යුතු වීමයි.

තුන්වන කාරණය නම් බොහෝ අය නිකරුණේ කාලය ගත කරති. ඔවුන් අපගේ මේ ජීවිතය ගැන නොසැලකිල්ලෙන් සහ වගකීමෙන් තොරව කටයුතු කරති.