පසුගිය 2011 නොවැම්බර් 13 වැනි ඉරුදින, රන්දිව පුවත් පතේ පිටු අංක 15 වෙහි සිරි සමන්තබද්‍ර හිමිගේ මාර්ගඵල ඥානය ඇත්තක් යන මැයෙන් පලවු ලිපියෙහි, සමන් සමරක්කොඩි නම් ලේඛකයා සහ සමන්තබද්‍ර (කලින් සිරිධම්ම) හිමියන් අතර ඇතිවන සංවාදයක් පලවේ. එහිදී ලේඛකයා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙනු වස් එතුමා සංයුක්ත නිකායේ, සක්‍ර සංයුක්තයේ කථාවක් උපහැරණයට ගනිමින් පිළිතුරු දෙන අතරම එයට අල්-කුර්ආනයේ පැවසෙනවා යැයි තවත් කථාවක් පවසති. එම කථාව මෙසේයඃ

නබිතුමා පාරේ යනවිට එක්තරා කාන්තාවක් අප නබිතුමාට කුණු වලින් පහර දෙනවා. නමුත් නබිතුමා කිසිදිනෙක එම කාන්තාව සමග තරහ ගත්තේ නැහැ. නමුත් දවසක් අප නබිතුමා එමගින් යනවිට එදින එම කාන්තාව සිටියේ නැහැ. එවිට නබිතුමාට ආරංචි වෙනවා එම කාන්තාව අසනීපව ඇති බව. අප නබිතුමාණන් ඇගේ සුවදුක් විචාරීමට ඈ සොයා යනවා. පුදුමයට පත්වන එම කාන්තාව අප නබිතුමාණන්ගේ අනුගාමිකාවක බවට පත්වෙනවා.

මෙම කථාව සඳහන් වන්නේ ශුද්ධවු අල්-කුර්ආනයේ නොව නබිවදනකය. ඉස්ලාමයේ දහම් මුලාශ්‍රයන් දෙකක් පවතී. එනම් අල්-කුර්ආනය සහ හදීස් (හෙවත් නබි වදන්) වේ. අල්-කුර්ආනය යනු අල්ලාහ් විසින් තම මානව ශාස්තෘවරයාණන් වු මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාට පහල කළ වදාල ධර්ම ග්‍රන්ථයයි. අල්-හදීස් යනු මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගේ සහගාමීන් විසින් ග්‍රන්ථාරූඪ කළ එතුමන් විසින් මෙලොව සිටි කාලයේදී කළ, කී අනුශාසනාවන්ය. එම නිසා එම කථාවෙහි මුලාශ්‍රය අල්-හදීස් ලෙස වෙනස් විය යුතුය.

මේ නිවැරදි කිරීම මට එතුමා හට පෞද්ගලිකව දැන්වීමට නොහැක්කේ කාර්ය බහුලත්වය නිසාවෙනි. මේ කියවන එතුමන්ගේ අනුගාමිකයෙකු එතුමන් දැනුවත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. කෙසේ වුවද අන්‍යාගමික මුලාශ්‍රයක් රැගෙන කරුණු පහදා දීමට උත්සාහ දැරීම පිළිබඳව මම එතුමාව අගය කරමි.