Published by Anver on 14 Jan 2010 at 06:14 pm
මතට තිත තිතට මත වේද?
වර්තමානයේ අප රටේ තිබෙන දැවෙන ප්‍රශ්ණ වලට විසදුම් සොයන්නට ආගමික සහ දේශලපාලනික සුසංයෝගයෙන් සැදුම් ලත් පරපුරක් බිහිවී සිටිති. ලංකාවේ සියලුම ප්‍රශ්ණ වලට තිබෙන එකම විසදුම ධර්ම රාජ්‍යයකැයි පවසමින් ඔවුන් ගෙන යන මේ වැඩ පිළිවෙල අප විසින් සංවාදයට භාජනය කළ යුතුය. ජනතාව මත්පැන් වලට ඇබ්බැහි වීම වැලැක් වීම සදහා මතට තිත නමින් වැඩ සටහනක් දියත්ව පවතී. පහත ලිපිය ලියන ලේඛකයා මෙම වැඩ පිළිවෙලෙහි ප්‍රායෝගිකත්වය සහ එය ක්‍රියාත්මක කරන්නවුන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර ඇත.
උන්නාන්සේලා වටහා ගනිත්වා
නිදාන කථාව ඉක්බිති අප මහා පුරාවිදු සක්විත්තාණන් වහන්සේ මහරජ උදෙසා ප්‍රශස්ති පූජා පිණිස විලක්කු ඔතන්නෝ, මහ රජුට අභියෝග කරනා සේවයෙන් ඉසුඹුලත් ඉනිකුණකුසේ සමතලා කරන්නේ මැයි වහසිබස් වපුරමින්, තන් හි තන් හි පත්‍ර මිත්‍රයන් හා සංවාද කරන්නාහුය. මෙසේ එක් දිනක් සේනාපතිට රැහැණිව දමා ගසනු පිණිස ඔහු විසින් සාදයක රහමෙර පානය දරුණු වරදක් නොවන්නේ යැයි පවසන ලද්දක් බූමරංගයක්සේ ගෙන මෙන්න මේකා මත් පැනට ආශිර්වාද කරන්නේ යැයි ගෝරනාඩු කරත්දී කට කැඩුණු පත්‍ර මිත්‍රයෙකු එසේ නම් හිමියනි, රජ මැදුරේ රාජ කතාලතාවන් හිදී රහමෙර ඉතිරෙන බව නොදන්නේ දැයි විමසූ තන්හි, එම්බා පත්‍ර මිත්‍රය නිරිදාණන්ගේ මාලිගාවෙහි රහමෙර සපිරි සංග්‍රහ පැවැත්වීම දහමට අනුචිත නොවන්නේ යැයි උජාරුවෙන් වදාරා එකසිය ගණනට ස්නානය කරනා සේක.
අපි අපුරු ශ්‍රී ලංකාවක වෙසෙමු. මේ ශ්‍රී ලංකාව එහි දෙදහස් පන්සිය වසක ඉතිහාසය තුල ඉහලම ආගමික සංවර්ධනය කරා ළගා වී සිටියි. එදා ගෞතම බුදුන්ගේ දවස නාලාගිරියාට පෙවීමට රා තිබුණද මේ යන මතට තිත ප්‍රතිපත්තිය නිසා ඉතා ඉක්මණින් නාලාගිරියෙකුට තියා කුහුඹුවකුට පෙවීමට වත් තරම්වත් රහමෙර සොයා ගනු නොහැකි වන බව නම් සහතිකය. එහෙයින්ම ඉන්පසු ටෙලිනාට්‍ය වල බීමත් චරිත රගපෑම සදහා අපට රහමෙර බී පුරුදු ශිලපීන් විදෙස් රටවලින් ආනයනය කිරීමට සිදුවනු ඇත. ජන සමාජයේ දෙබිඩ්ඩන් බහුල මෙවන් රටක මෙවන් කාලයක් වැඩි වැඩියෙන් අපෙක්ෂා කළ හැක්කේ දෙකයි පනහේ තුප්පහි විහිළු හැර අන් කුමක්ද?
දෙකන පුරවා දේශ ප්‍රෙමය වගුරා, දෑස පුරවා රජාණන්ගේ සිනහව අලවා, නාබියට සුබ අනාගතයක තුත්තිරි ගස කිති කවන විට ජනයාට බඩට තිත බව අමතකය. එසේ රවටන ලද සමාජයක මතට තිත යනු කිසිදාක නොවියැකෙන චුවින්ගමයක් බව පාලකයා දන්නා හෙයින් එම සටන් පාඨය කාන්තාවන්ට විශේෂයෙන්ම සුමදුර පානයක් සේ ඉදිරිපත් කෙරුම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේම කොටසක් වීම අනුවාර්යය.
බෞද්ධයන්ගේ උදේ හවා මුවග රැව්දෙන පන්සිල් යනු බුදුන් විසින් වදාල ප්‍රතිපදාවක් මිස අනිවාර්ය නීතියක් නොවේ. ඉන් කෙරෙනුයේ සිය අනුගාමිකයාට යහපත අයහපත තෝරා දී යහමගට යාමට පෙලඹවීමක් ඇති කිරීමයි. එසේ නොමැතිව බුදුන් වහන්සේ අප වර්තමාන වහන්සේලා මෙන් නීති පනවා එය වැලැක්වීමට උත්සාහ කළේ නැති. ඒ මිනිසා තුලින්ම එම පෙලඹවීම ඇති කිරීම නියම මග බව උන්වහන්සේ දැන සිටි හෙයිනි.
එහෙත් බුදුන්ටද ඉගැන්වීමේ සමත් සවුන්ඩ් සෙට් ධර්ම කථික බලකාය සුඛොපබෝගී රියෙන් පෙලහර පාමින් වායු සමනිත අරමෙහි වැඩ වසමින් තිස්දාහේ සිවුරු පොරවමින් දැන් බුදුන්ටත් වඩා ඉදිරියට ගොස් මතට තිත තැබීමට රජුට අනුශාසනා කිරීමෙන් නොනැවතී නෙක නෙක විච්චූර්ණ පාති.
මේ මතට තිත ජනප්‍රිය සංකල්පයේ යථාර්තය වටා දෙන අපූරු උදාහරණයක් මට උදේ හවා හමුවේ. ඔහු මගේ නිවස ආසන්නයේ වෙසෙන කම්කරුවෙකි. සෑම දිනකම ඔහු ඉපැයූ මුදලින් කොටසක් වැය කර කටගොන්නක් බී ගනී. ඉන් පසු නිවසට පැමිණ ගෙදරවුන් හා කස්තිරම් අල්ලයි. ඔහු මුලදි මුලදී කළේ වැල්ලට ගොස් පොල් රා වීදුරු දෙක තුනක් බීමයි. එහෙත් වැල්ලට පොලීසිය පැමිණීම වැඩි වූ පසු ඔහු විකල්පය සොයා ගත්තේ කසිප්පු තිප්පොලෙනි. සැමදාම සවසට ඔහු ජංගම කසිප්පු තිප්පොල සොයා ගොස් ගොම්මන් අදුරත් සමග නිවසට ආවේ රට දෙදරවන කුණු හරුප වර්ෂාවක්ද සමගිනි. ඒ දිනවල ඔහුගේ බිරින්දෑ දෙස් දොවොල් තිබ්බේ කසිප්පු විකුණන්නන්ගේ හත්මුතු පරම්පරාවටම විනාශය පතමිනි. බොහෝ කතුන් මෙන්ම ඇගේද පිහිටට මතට තිත සංකල්පය ආවේ මේ අතරය. ඉන්පසු මාළුකාරයා වටා දැවටෙන පූසාමෙන් සිටි කාකිකාරයාගේ අනුහස පැතිර තිබූ කසිප්පු පොලවල් වාශ්ප වී ගිය බව සටහන් කළ යුතුය. ඉනි ටික දිනකට පසුව මට අපේ කතානායකයාගේ බිරිද හමුවූ විට මම ඇගෙන් දැන් සැමියා සෝවාන් ඵලයටවත් එලඹී සිටී දැයි ඇසුවෙමි.
මොන පිස්සුද ඒ මහසෝනා දැන් සීල් අරක්කු බෝතලයක් ඇර බෝතලයක් ගෙනත් ගෙදර තියාගෙනම අපිව කන්න හදනවා. සිදුව ඇත්තේ මෙයයි. පොලිස් වැටලීම් හමුවේ කසිප්පු පොලවල් වැසුණු පසුව ඔහු දැන් කරන්නේ ගල් අරක්කු බෝතල් ගෙනවිත් නිවසේම තබාගෙන සප්පායම් වීමයි. ඉස්සෙල්ලා කලබලේට ෂොට් එකක් දෙකක් දාගෙන දුවද්දී පොඩි කොනට්‍රෝල් එකක් තිබුණා. දැන් ගෙදරම බඩු තියෙන හන්දා දවසට බොතලේ මදිවන වෙලාවලුත් තියෙනවා. ඒ ඔහුගේ මැසිවිල්ලයි. අනෙක් අතින් ඔහුගේ කසිප්පු බීම පිළිබද චෝදනා කළ බිරිදට දැන් පෙර නොකල අමතර රාජකාරියක්ද තිබේ. එනම් සැමියාට බයිට් සාදා දී තමාම ඔහුට බයිට් වීමයි. එසේම අළුත් තත්වය යටතේ සිහිපත් කළ යුත්තේ කාගේ මව්දැයි නොදැන ඇය ළත වන්නීය.
මතට තිත සංකල්පයේ මහපොලොවේ යථාර්තය එයයි. හුදෙක් හොර සුරා වැටලීම මත මිනිසුන්ගේ මත්පැන් පානය නැවතීම වෙනුවට දැන් සිදුව ඇත්තේ ඔවුන් නීත්‍යානුකූලව විකුණන සීල් බෝතලයට මාරුවීම පමණි. දෙකම මත්පැන්ය. දෙකම ඇල්කොහොල්ය. දෙකෙහිම ප්‍රථිඵලය මත්වීමයි. එසේම ලයිසන් අරක්කු බිව් පමණින් අර මිනිහාගේ කුණුහරුප සෞම්‍ය බවට හැරී ඇත්තේද නැත. අවසානයේ දී ඉතිරිවී ඇති එකම ප්‍රථිඵලය හොර සුරා නිසා එතෙක් රජයට අහිමිව තිබූ සුරා බදු ආදායම නීත්‍යනුකූල මත්පැනට ඉල්ලුම වැඩිවීම තුල ඉහල යාම පමණි.
මිනිස්සු මත්පැන් බොන පසුබිම් දෙකක් තිබේ. එහෙත් මින් හුවා දැක්වෙන්නේ එකක් පමණි. මිනිස්සු හුදෙක් විනෝදය සදහා ප්‍රිය සම්භාෂණ වලදී හෝ පෞද්ගලික මත්පැන් හමු වලදී මත්පැන් තොලගාතී ඇතැම් විට රතු ඉරද පන්නා ගොස් දෝස් මුරද දාගනිති. අපේ එක් දේශාපාලකයෙකු කලකට ඉහත ප්‍රසිද්ධ හෝටලයක නාන තටාකයක ප්‍රසිද්ධියේ සුළුදියබෑවේ එසේ රතු ඉර පැන්න පසුය. කෙසේ වෙතත් විශේෂ අවස්ථා වලදී මත්පැන් රස බලනා වැඩි පිරිසක් වෘත්තීය බේබද්දෝ නොවෙති. මත්පැන් භාවිතයේ අනිත් අවස්ථාව බීම සිය දෛනික අංගයක් කරගත් මිනිසුන්ගේ උදාහරණයයි. සැමවිට මත්පැන් පානයේ නරක පිළිබදව හුවාදැක්වෙන්නේ මෙසේ සෑම දිනකම කනපාත් වන තුරු බොන බේබද්දන් උදාහරණයට ගැනීම තුලිනි. කසිප්පු තිප්පොල වසා දැමීම තුලින් මතට තිත තැබිය හැකිය යන ජනප්‍රිය පාඨය ගැයෙන්නේ මේ දෛනික බේබද්දන් විශේෂයෙන් ඉලක්ක කරමිනි. එහෙත් මේ සටන් පාඨය ඉන් ඔබ්බට නොයන්නේද එය ජනප්‍රිය තනුවකින් ඔබ්බට ගෙනයාමට ක්‍රියාකරුවන්ටද සැබෑ වුවමනාවක් නැති බැවිනි. අනෙක් අතිනි මිනිසුන් අධික ලෙස මත්පැනට ඇබ්බැහි වීම පිළිබද සමාජ විද්‍යාත්මක කියවීමක්ද නැති බැවිනි.
මිනිසුන් ඉවක් බවක් නැතිව බීමට පෙලඹෙනුයේ ඔහුට සිය මානසික වපසරිය තුල දරාගත නොහෙනා ප්‍රශ්න එලඹෙන විටය. ඔහු සිය ප්‍රශ්ණ අමතක කිරීමට පිහිට පතන්නේ මත්පැන තුල එය ගිල්වා දැමීම මගිනි. ආර්ථික ප්‍රශ්ණ මෙහිදී විශේෂයෙන් ඉදිරියට එයි. ඒ අතරට විවිධ සමාජ දේශපාලනික මෙන්ම පෞද්ගලික ප්‍රශ්නද එයි. සුගත් බිව්වේ දම්මි අහිමි වීමේ ශෝකයෙනි. දම්මිලා අහිමි වන නිසා බොන සුගත්ලා හිග නැතිවාක් මෙන්ම අපේ ආර්ථික විද්‍යාචාර්ය බන්දුලයන්ගේ මහානුභාව සම්පන්න බජට් පැකය සොයා ගැනීමට නොහැකි වීම නිසා මාසයේ වැටුපෙන්, දෛනික ඉපයුමෙන් දරුපවුල රැකගැනීමට නොහැකි වීම මත ඊට විසදුම මත්පැනින් සොයන පිරිස්ද සුළු පටු නැති.
සත්‍යකි. මේ කිසිම හේතුවක් මත මත්පැන් පානය සාධාරණීය කරනය කිරීම නොහැකි බව රහසක් නොවේ. එහෙත් රෝගයේ නිධානයට බෙහෙත් නොකර පිටතින් කෙරෙනා තෙල් සාත්තු ඵල රහිත බව අප හාමුදුරුවන් වහන්සේලා දැන ගනිත්වා. අප දන්නා සරලම සත්‍ය වන්නේ නරක පිටු දැකීමට නම් කළ යුත්තේ හොද බහුල කිරීම බවයි. එසේත් නැති නම් මිනිසා නරකට පොලඹවන මූලයන්ට විසදුම දීම බවයි. ඒ අනුව මෙහිදී පලමුවෙන්ම කළ යුත්තේ මිනිසා බීමට ඇබ්බැහි වීමට බලපානා සාධක ඉවත් කිරීමයි. එනම් මිනිසා පීඩනයට ලක් කරනා සමාජ ආර්ථික ප්‍රශ්න වලට විසදුම් ලබා දීමයි. සවසට බාර් එකට හැරෙන හන්දියෙන් නොහැරී ගෙදර යාමට පෙළඹෙන සුපසන් මනසකින් යුත් මිනිසුන් බිහිකීරීමයි. ඉතා සරලව කිවහොත් මිනිසෙකුට මිනිසෙකු ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මානය කිරීමයි. ඒ කිරීමට සමත් නම් සමාජයේ අසීමාන්තික බීම ඉබේ පාලනය වනු ඇත.
එහෙත් අපේ හිමිවරුන් ඇතුළු සියලු සදාචාරවාදීන් කරන්නේ විෂබීජය අල්ලෙන් වසාගෙන හතර වටේට විෂබීජනාශක ඉසීමයි. චෞරයාට පිරිත් නූල් බදිමින් පුරවැසියාට බ්‍රහ්ම දන්ඩනය පැනවීමට කැස කැවීමයි. රටට අවශ්‍ය පාලකයාට මෙන්ම සාමාන්‍ය පුරවැසියාටද එකම දහම දෙසනා වරදෙහිදී එකම විනය දන්ඩනයට යෝජනා කරනා විචාරශීලී බුද්ධ පරම්පරාවකි. එසේ නොමැතිව අරමට ගොඩවදිනා හාම හාල්පාරුවාටම ආශිර්වාද කරනා කහ සිවුරු නොවේ. කහවනු පොදියට විචිත්‍ර ධර්ම දේශනා පවත් වමින් අපට අල්පේච්චතාව දෙසනා හිමිවරුන් නොවේ.
ඉතිහාසය පුරාම ආගමික නායකයෝ වාමවාදීන් සමග දරුණු ලෙස ගැටුණෝය. මාක්ස්ට පල්ල පතුරු යන්න බැණ වැදුනෝය. ඒ මිනිසාට ආගම අබිංය යන සුප්‍රසිද්ධ ප්‍රකාශය හේතුවෙනි. එහෙත් පැවිදි පක්ෂය සැමදා මේ ප්‍රකාශය හා ගැටුනා මිස ආගම යනු මිනිසාට යුක්තිය ඉටුකරනා බලවේගයක් මාර්ගෝපදේශයක් බව පෙන්වීමට කළ දෙයක් නැති තරම්ය. නව ලිබරල් වාදී කුණාටුව හමුවේ අන් සියල්ලටම පෙර ජනප්‍රිය වෙලද භාන්ඩයක් බවට පත්වූයේ ආගමමය. අකමැති වුවත් අප වටහා ගත යුතු සත්‍ය එයයි. මතට තිත වැනි අවස්ථාවාදී දේශපාලන චුවින්ගම් කටේ දාගැනීමට පෙර ආගමික නායකයන් කළ යුත්තේ තම තමන්ගේ ආගමික දර්ශනයන්හි හරය සොයා ගැඹුරෙන් අධ්‍යනයක් ඇරඹීමයි. එවිට කනේරු ඇට කා දිවි නසා ගන්නා මිනිසුන් ඉන් වලක්වාලීම සදහා කනේරු ඇට ගස් කපා දැමීම වැනි යෝජනා කරනා තාපේ අමන දේශපාලකයන්ට රිදෙන බන පදයක් දේශනාවක් උන්වහන්සේලාට හමුවනු ඇත.
එසේ කිරීමට සුදානම් නැතිනම් ගගේ පනිනවුන් මුදවා ගැනීම සදහා ගංගා හිස් කිරීම ලිංගික අපරාධ මැඩලීම සදහා ලිංගේන්ද්‍රියන් කපා දැමීම හෝ සීල් තැබීම වැනි දේශපාලන කැකිල්ලේ තීන්දු ඉදිරියේදී වැඩි වැඩියෙන් නිර්මානය වනු ඇත.
2009 දෙසැම්බර් 27 වන ඉරිදා රාවය පුවත් පතෙහි 12 වන පිටෙහි හයවැනි මහලේ සිට තීරුවේ පලවූ ලිපියකි.
Sumith on 14 Jan 2010 at 10:47 pm #
සහතික ඇත්ත ….
Visal on 14 Jan 2010 at 11:11 pm #
එක දෙයක් තියනවා..හෙළ උරුමය වගේ දේශපාලන පක්ෂයක ක්‍රියාකලාපය දිහා බලලා බුද්ධාගම ගැන නිගමනය කරන එක වැරදී…
Anver on 15 Jan 2010 at 11:32 pm #
හෙල උරුමය පමණක් නොවේ. අද අප රටේ ජනප්‍රිය විචිත්‍ර ධර්ම කථිකයන් ලෙස පෙණී සිටින කොට්ඨාශයක් සිටිනවා. මේ සියළු දෙනාගෙන් බහුතරය කරන්නේ ජනතාවට පය බරවායට පිටිකර බෙහෙත් බැදීමට උපදෙස් දීමයි.
Sandun on 16 Jan 2010 at 5:49 am #
palayan po__yo yanna
me rate hoda wadak karanakota thopita amarui thama
a thope thiyena awajathaka kama nisai
mathata thitha thiyana eka godak hoda deyak
Anver on 16 Jan 2010 at 6:22 pm #
උරුමයට කඩේ යන්නේ මේ වගේ අයයි. ශිෂ්ඨ අයුරින් කථා කිරීමටද නොදනි. සදුන් යනු සුවදවත් ශාකයකි. මොහුගෙන් විහිදෙන්නේ කුමණ ගන්ධයද තීරණය ඔබ අතේ.
Visal on 22 Jan 2010 at 8:02 pm #
“සදුන් යනු සුවදවත් ශාකයකි. මොහුගෙන් විහිදෙන්නේ කුමණ ගන්ධයද තීරණය ඔබ අතේ.”
මොනා වුනත් අන්වර් අයියා හොදට භාෂාව නං හසුරවනවා..;)
Anver on 25 Jan 2010 at 7:03 am #
ස්තූතියි ඔබට බස නිසිලෙස හැසිරවීම මගේ විනොදාංශයයි.