• Sharebar

ඉස්ලාම් දහම තුල අපට උගන්වන මූලිකම ධර්මතාවය නම් සකල මිනිස් වර්ගයාම එකම දරුකැලක් බවයි. මෙයට හේතුව ඉස්ලාමය උගන්වන පරිදි දෙවිඳුන් මිනිස් වර්ගයා උපදවා තිබෙන්නේ එක යුවලක් මගිනි. එමනිසා සෑම පුද්ගලයෙකුම අනෙකාගේ සහෝදරයාය.

සෑම මනුෂ්‍යයකුම ලොවේ ප්‍රථම දෙමාපියන්වු ආදම් සහ හව්වා යුවලගේ දරුවන්ය. එම නිසා කිසිවෙකුටත්, වෙනස් කම් නොකල යුතුයි. සෑම දෙනාටම ගරුකල යුතුයි.

(අල්කුර්ආනය – 49:13)

එමෙන්ම මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) මෙලෙස පවසා ඇත. “යම් අරාබිවරයෙක් අරාබි නොවන කෙනෙකුට වඩාද අරාබි නොවන කෙනෙක් අරාබි කෙනෙකුට වඩා ද උසස් නොවන්නේය.”

මිනිසුන් අතර භාෂා ප්‍රාදේශීය, වර්ණ, ස්වභාවය, පවුල, ධනය, ආගම ආදී මුලික වෙනස්කම් තිබිය හැක. ඒවා අපට වැලැක්විය නොහැක්කකි. ඊට හේතුව ඒවා සියල්ල දෙවිඳුන්ගේ කැමැත්ත අනුව සිදුවන හෙයිනි. ඉස්ලාමය බහුත්වවාදය පිලිගන්නා දහමකි.

අහස, පොළව, මවා තිබීමද ඔබ අතර භාෂා වර්ණ භේද තිබීමද ඔහුගේ ශක්තියේ සාක්ෂි වන්නෝය. මේවායින් බුද්ධිමතුන්ට බෝහෝ සාක්ෂි (දෙවිඳුන්ගේ ශක්තිය ගැන) ලබාගත හැක.

(අල් කුර් ආනය – 30:22)

(නබිවරය,) ජනයාට විශ්වාසවන්තයින් වියයුතු බවට ඔබ බලකරනවාද?

(අල් කුර් ආනය – 10:99)

ඉස්ලාමය යනු දෙවිඳුන් විසින් මිනිස් සමාජයට ලබාදුන් ඉතා පහසු ජිවන මාර්ගයයි. එය සාධක සහිතව ක්‍රමානුකූලව ප්‍රචාරය කිරීම මුස්ලිම් වරුන්ගේ වගකීමයි. ඒවා නොපිලිගන්නා අයට අඩත්තෙට්ටම් නොකර ඔවුන්ගේ ක්‍රියාවට ප්‍රථිඵල දීමට දෙවිඳුන්ගේ භාරයට යොමු කරන ලෙස ඉස්ලාමය අපට පෙන්වා දී ඇත.

ඉස්ලාමය නොපිලිගන්නා අය කෙරෙහි බලහත්කාරය යෙදීම, ඔවුන්ව පීඩනයට පත්කිරීම වරදකි. ඉස්ලාම් ධර්මය තුල බලහත්කාරයක් නොමැත.

(අල් කුර් ආනය – 2:256)

ඉස්ලාමීය රාජ්‍යයක් තුල සිටින්නාවූ අන්‍ය ආගමිකයින් දිම්මිවරු ලෙස හදුනවනු ලබන අතර, එම රාජ්‍යතුල වෙසෙන සියළු දෙනාට හිමි අයිතිවාසිකම් අන්‍ය ආගමිකයින්ට ද හිමිවේ.

මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) තුමාණන් එකල ඇතිකරගත් මදීනා ගිවිසුමේ ඇතුලත් කරුණු හා එහි එකඟතාවයන් මෙය කදිම නිදසුනකි.

මෙම ගිවිසුම මගින් මුස්ලිම්වරු අන්‍ය ආගම්වලටත්, ඔවුන්ගේ සංස්කෘතියටත් ගරු කල යුතු බව පෙන්වා ඇත.

අන්‍යයන් වන්දනය කරන්නාවු දෙවිවරුන්ට ගැරහීමෙන් වැලකී සිටිය යුතුය

(අල් කුර් ආනය – 6:108)

අන්‍ය ආගමිකයින් සමඟ සිදුකරන ආගමික සංවාද වලදී මනා සංයමයකින් මනාගරුත්වයකින් කටයුතු කල යුතුය

(අල් කුර් ආනය – 29:46)

යුද්ධමය අවස්ථාවලදී අන්‍ය ආගමික පුජනීය ස්ථාන ආරක්ෂා කිරීම අනිවාර්යයයි

(අල් කුර් ආනය – 22:40)

නජ්රාන් දේශයේ ක්‍රිස්තියානි වැසියන්ට නබිතුමාගේ පල්ලියේ එක් පසෙක ඔවුන‍‍්ගේ වන්දනාමාන කටයුතු සිදුකිරීමට මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) තුමා අවසර දුන්නේය.

නබි(එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) තුමාණන්ගේ අභාවයෙන් පසුව එතුමානන්ගේ නියෝජිතයාවන දෙවෙනි රාජ්‍ය නායකයා (2 වෙනි කලීපා) වු උමර් රලියල්ලාහු අන්හු තමන්ගේ සේනාංක තවත් ප්‍රදේශයකට යවන අවස්ථාවල මෙසේ උපදෙස් දීමට අමතක නොකළේය.

“අන්අයගේ දේවස්ථානවල ඔබගෙන් කිසිම කෙනෙක් ලැගුම් නොගත යුතුය. එහි කිසිම දෙයකට හානි නොකල යුතුය”. සමාජ සම්බන්ධතා ආරක්ෂා කිරීම

දෙමව්පියන්, නෑයින්, අසල්වැසියන්, ගම්වැසියන් හා රට වැසියන් අන්‍ය ආගමිකයින් වුවද සමාජමය බැදීම(අන්‍ය සුහදතාවය) අවශ්‍ය වේ.

දෙමව්පියන්, නෑයින්, අසල්වැසියන්, ගම්වැසියන් හා රට වැසියන් අන්‍ය ආගමිකයින් වුවද සමාජමය බැදීම (එකිනෙකා අතර සුහදතාවය) අවශ්‍ය වේ.

එසේම නබි (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා)තුමානන් ඉස්ලාමය වැළඳගත් සහාබිවරුන් (අනුගාමිකයන්) ට අන්‍ය ආගමිකයින්වු තමන්ගේ දෙමව්පියන්ට සලකන ලෙස දේශනා කළෝය.

තවත් දිනෙක ක්‍රිස්තියානි කාන්තාවකගේ අවමගුල් පෙරහැරකටද නබිතුමාගේ අනුගාමිකයින් සහභාගී වුහ.

එමෙන්ම යුදෙව් ජාතිකයෙකුගේ අවමගුල් පෙරහැරක් යනවිට නබිතුමා නැගිට ගරුකළේය.

මුස්ලිම් හා මුස්ලිම් නොවන අය අතර සම්බන්ධතාව වර්ධනය කිරීමට අල්-කුර්ආනය මග පාදයි.(අල් කුර් ආනය – 60:8) එසේම අසල්වැසියන් අන්‍ය ආගමිකයින්වුවද ඔවුන්ට සැලකීම, ලෙඩ දුක් විමසීම ඔවුන් සමඟ ගණුදෙණු කිරීම ඉස්ලාමය දේශනා කරයි.

ධර්මය මුල්කොටගෙන යම් පිරිසක් ඔබට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමට පෙර සටන් නොවදින ලෙස සටන් නොවදින ලෙස අල්-කුර්ආනය උපදෙස් දෙයි.

අන් ආගමිකයින් අතර බෙලහීන අයට කරුණාව දැක්වීම ඔවුන් අතර සි‍ටින දිළිදු අයට උපකාර කොට ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරදීම ඔවුන් අතර සිටින කුසගින්නෙන් පෙලෙන අයගේ කුසගින්න නිවා දැමීම, ඇදුම් නැති අයට වස්ත්‍ර ලබා දීම,ඔවුන් සමඟ සුහදව කතාබහ කිරීම, ඔවුන්ට යහමග පෙන්වන ලෙස ප්‍රාර්ථනා කිරීම, ඔවුන්ගේ රහස් හෙළිනොකිරීම, ඔවුන්ගේ පවුල් දේපල, ගරුත්වය හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීම ඔවුන්ට සිදුවන අසාධාරණත්වය පිටු දැක ඒවා නිරාකරණය කරදීමේ ප්‍රයත්නයට සහාය දැක්වීම යන කරුණු උපකාර කිරීම යන මාතෘකාව යටතේ විදහා දැක්වේ.

(ඉමාම් අල්කරාබි – ග්‍රන්ථය : අල් බුරූක් – ජේදය: 3 පිටුව : 15)

උදව් කිරීම හා සාමුහිකව කටයුතු කිරීම (දන්දීම හා ලබාගැනීම)

එකට එක්වී කටයුතු කිරීම හා පරස්පර උදව් කිරීම උතුම් දෙයකැයි ශුද්ධ කුර්ආනයදේශනා කරයි. (අල් කුර් ආනය – 60:8)

අන්‍ය ආගමිකයින් ප්‍රථිමා වන්දනයේ නිරතවුවද ඔව්හු මුස්ලිම්වරුන්ගෙන් අභය දානය ඉල්ලා සිටිනවිට ඔහුට අභයදානය ලබාදිය යුතුයි. කෙනෙක් අන්‍ය ආගමිකයෙකුව එළවන විට, ඔහුට ආරක්ෂාව සලසා දී හතුරා එම ස්ථානයෙන් බැහැරවුවායින් පසුව ඔහුව ආරක්ෂිත ස්ථානයකට කැඳවා යෑම මුස්ලිම්වරයෙකුගේ යුතුකමකි.

මක්කාවේ(අන්‍ය ආගමිකයින් විසු) සාගතයක් හටගත් අවස්ථාවේදී මදීනාවේ සිට දීනාර් 500 ක් සහනාධාර වශයෙන් නබිතුමා විසින් මක්කාවට යවන ලදී.

එතුමා මක්කාවේ සිට මදීනා නගරයට හිජරත් (සංක්‍රමනය) වන අවස්ථාවේදී අන් අය විසින් එතුමා වෙත තබා තිබු සියළු භාණ්ඩ ආරක්ෂා සහිතව නැවත ලබාදෙන ලදී. එදා ජීවිතයට තර්ජන එල්ලවූ හිජ්රත සමයේදී නබිතුමාට මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කලේ අබ්දුල්ලා ඉබ්නුඋරෛකර් නැමැති අන්‍ය ආගමිකයෙකි.

එමෙන්ම යහපත් කාර්යයන්හිදී එකතු වී කටයුතු කිරීමේ වැදගත් බව ඉස්ලාමය නිතර නිතර පෙන්වා දෙයි. එහෙත් මුස්ලිම්වරු විසින් අන්‍ය ආගමිකයින් සිදු කරන අල්ලාහ් (දෙවිඳුන්) ගේ ඒකීයභාවයේ විරුද්ධත්වයට හා පාපකාරී ක්‍රියාවන්ට සහයෝගය නොදක්වති. නමුත් සමාජ සේවා හා රටේත්, සමාජයේත් දියුණුව පතා අන්අය සමඟ එක්වී කටයුතු කිරීමට බැදී සිටිති. මුහම්මද් නබිතුමාට නබිත්වය ලැබෙන්නට පෙර එනම් එතුමාගේ තරුණ කාලයේදී හිල්බුල් පුලුල් නමැති සංගමයට බැදී සමාජ සේවාවන්හි නිරතවුහ. අසාධරනයට ලක්වු අයට උදව් කිරීම සඳහාත් අක්‍රමිකතා සිදුකරන්නන්ට විරුද්ධවීම සඳහාත් යථෝක්ත සංගමය පිහිටුවාගන්නා ලද්දකි. කුසල් ක්‍රියා සඳහාත් දේව භක්තිය හා සම්බන්ධ ක්‍රියා සඳහාත් සහාය දක්වා උදව් කරන්න පාප ක්‍රියාවන්ට හා නොමඟ යන ක්‍රියාවන්ට උදව් නොකරන්න යනුවෙන් අල්-කුර්ආනය දේශනා කරයි (අල් කුර් ආනය – 5:02) රටක, සෑම මිනිසාටම පාපය ගෙනදෙන මත්ද්‍රව්‍යය භාවිතය, අල්ලස, දුෂණය, වංචාව, පක්ෂපාතිත්වය, අසාධාරනය අක්‍රමිකතා තුරන් කිරීමට සියළු මුස්ලිම්වරු අන්‍ය ආගමිකයින්ට සහාය දැක්විය යුතුයි. මුස්ලිම්වරු තම මව්රටේ සිදුවන යහපත් ක්‍රියාවන්ට සහභාගීවිය යුතුයි.

පවතින රටේ නීතියට අනුකූලව කටයුතු කිරීම මුස්ලිම්වරයෙකුගේ අනිවාර්ය වගකීමකි.

ඔබ හා ඔබේ අන්‍ය සමාජය අතර පවතින මතභෙදය මත ඔබ නීතියට පිටුපා කටයුතු කිරීමෙන් වැලැකී සිටිය යුතුයි. නීතියට අනුව කටයුතු කරන්න. එය දෙවිඳුන් කෙරෙහි පවතින්නාවු භක්තිය තවදුරටත් තහවුරු කරයි.

(අල් කුර් ආනය – 05:08)

ඉස්ලාමීය රාජ්‍යයේ සිව් වෙනි නායකයාවු (4 වෙනි කලීපා) අලි රලියල්ලාහු අන්හු තුමාගේ පලිහ යුදෙව්වෙකු විසින් පැහැරගත් (සොරකම් කළ) අවස්ථාවේදී ඔහුව විනිසුරුවෙක් ඉදිරියේ පමුණුවන ලදී. එම අවස්ථාවෙදී කලීපාතුමාට පක්ෂව සාක්ෂියට සිටියේ එතුමාණන්ගේ පුත්‍රයා පමණී. නමුත් එතුමාගේ පුතාගේ සාක්ෂිය පමණක් ප්‍රතික්ෂේප කල විනිසුරුවරයා යුදෙව් ජාතිකයාට පක්ෂව සිය තීන්දුව ලබා දුන්නේය.

ගිවිසුම්වලට ගරු කිරීම

මුහම්මද් නබි (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) ‍තුමාගේ කාලයේ මුස්ලිම් නොවන අය සමග ඇති කරගත් හුදෙයිබියා ගිවිසුම, මදීනා ගිවිසුම නජ්රාත් දේශයේ ගිවිසුම නබිතුමා සහ මුස්ලිම්වරු විසින් අකුරටම පිලිපදින ලදී.

ගිවිසුම් ආරක්ෂා කරන්න. මන්දයත් අවසාන දිනයේදී ගිවිසුම් ගැන විමසන ගැන විමසනු ලැබේ.

(අල් කුර් ආනය – 17:34)

මිත්‍රද්‍රෝහිවීම බරපතල වරදකි. පොරොන්දු ඉටු කරන්න මෙසේ අන්‍ය ආගමිකයින්අතර අනනොය්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහාත්, ගැටුම්වලින් වලකින්නත් නබි(එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) තුමා විවිධ අවස්ථාවල ගිවිසුම් ඇතිකරගත්හ.

(මානව හිතවාදි මුහම්මද්තුමා-නයීම් සිද්දීක්ගේ – ග්‍රන්ථය)

යුධ ආචාර ධර්ම ආරක්ෂා කිරීම

කිසියම් පිරිසක් විසින් බලෙන් යුද්ධ කිරීමට පොළඹවන අවස්ථාවක් එලඹනු විට ඔවුන් සමග යුද්ධ කිරීමට සිදුවුවහොත්අනිවාර්යයෙන්ම යුධ ධර්මය පිලිපදින ලෙස ඉස්ලාමය දේශනය කරයි. මෙම යුද්ධ කළ යුත්තේ යුද්ධ කිරීම හැර වෙන විකල්පයක් නොමැති නම් පමණි.

පීඩනය, අවනීතිය, අරාජිකත්වය, ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීම, සාමය සඳහා වාතාවරණයක් නොමැති විට යුද්ධ කළ යුතුය. යුද්ධ කිරිමටම සිදුවුවහොත් යුධ ආචාර ධර්ම වල සීමාව ඉක්මවා නොයා යුතුයි, යුද්ධයට සම්බන්ධ නොවන අයට හිංසා නොකළ යුතුය. ඉදි කිරීම් බිඳ දැමීම, ගස් හා සතුන් කපා විනාශ කර දැමීම සම්පුර්ණයෙන් තහනම්ය.

එමෙන්ම යුද්ධයකදී දරුවන්, කාන්තාවන්, මහල්ලන් හා පුජකයින්ට කිසිදු අයුරකින් හානි සිදුනොකල යුතුයැයි ඉස්ලාමය දේශනා කරයි

එමෙන්ම අන්‍ය ආගමිකයින් මුස්ලිම්වරුන්ට තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් ජිවත්වීමට ඉඩ දිය යුතුයි.

සාමුහික ජීවිතය සඳහා දරණ ප්‍රයත්නය කැපවීම් මත පමණක් යථාර්ථය බවට පත්වේ. යනුවෙන් ඉස්ලාමය පවසයි.

පොදු ප්‍රශ්නවලදී සාමුහිකව කටයුතු අතරම ඔවුනොවුන්ගේ අනන්‍යතාවයන් සම්බන්ධ අවස්ථාවලදී ඇතිවන වෙන්වීම් දරාගත හැකි තත්වයක් පැවතිය යුතුයි.

එමෙන්ම මුස්ලිම්වරුන්ට තමන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් ජීවත්වීමට මුස්ලිම් නොවන අය සහාය දැක්විය යුතු බව ඉස්ලාමය පවසන අතර. මුස්ලිමවරු තමන්ගේ විශ්වාසය, සභ්‍යත්වය හා සංස්කෘතිය යන කරුණු වලදී මුස්ලිම් නොවන අයගෙන් වෙනස්වන විට මුස්ලිම් නොවන අය එයට ගරු කල යුතුයි. එසේම මුස්ලිම්වරු මුස්ලිම් නොවන අයටද ගරු කල යුතුයි. සාමයෙන් අන් අය සමඟ ජීවත්විය යුතු බව ඉස්ලාමය අවධාරණය කරයි.