මුහම්මද් නබිතුමාගේ චරිතය සැකෙවින්

මුහම්මද් නබි තුමාණෝ ගමන ගැන නබි වදන් වල සහන් වන්නේ එතුමා ගමන් කර ඇත්තේ ස්ථාවර ලෙස පියවර තබා ඉදිරිපස බලමින් ගරු සරු ඇතිවය. තමා වෙත තිබුණු අප්‍රමාණ වූ වගකීම් අතරතුර පවා සමාජ, ආගමික හා ලෞකික විෂයයන් පිළිබඳව සාකච්ඡාවන්ට ද එතුමා සහභාගි විය.

එතුමා කතා කළේ ඉතා සෙමිනි. සෑම වදනක්ම උච්චාරණය කළේ ශ්‍රාවකයන්ට එය මනා ලෙස සිහිතබා ගැනීමට ඉවහල් විය හැකි පරිද්දෙනි.

මුහම්මද් නබි තුමාගේ කතා විලාශය ඉතා කන්කළු විය. එතුමාගේ අරාබි බස භාවිතයද ඒ සඳහා ඉතා උචිත විය. එතුමා ඒ භාෂාව ගැන පැහැදී සිටියහ. එහි පැහැදිලි බව අලංකාරය හා තේරුම් ගත හැකි ස්වභාවය නිසා එතුමාගේ වාග් විලාශය ඉතා උසස් විය. කෙටි ප්‍රකාශන වූ කලී එහි වූ විශිෂ්ඨාංගයයි. මේ නිසා එතුමාගේ කෙටි වදන් තුළ පවා විශාල අරුතක් ගැබ් විය.

එතුමා යන එන මග තොටේදී මුණ ගැසෙන සියල්ලන් සතුටින් පිළිගැනීම එතුමාගේ සිරිත විය. මුණ ගැසෙන අයට සලාම් (ක්ෂාන්තිය හා සාමය) ප්‍රාර්ථනය කිරීමට එතුමා සැමට පළමුව ඉදිරිපත් විය.

යම් කිසිවෙකුට පණිවිඩයක් යවන විටදී ඒ සමග තම සුබ පැතුම් ද ඒ සමග යැවීය. යම් කිසිවෙකු එතුමන්ට පණිවිඩයක් ගෙනා කළ පණිවිඩය ගෙනා හා එවූ  සියළු දෙනාටම සලාම් (සාමය) ප්‍රාර්ථනය කරන ලදී.

වරෙක එතුමාණෝ ළමුන් පිරිසක් සිටි තැනක් පසු කොට යන විට කුඩා ඔවුන්ටද සලාම් ප්‍රාර්ථනය කළහ. කාන්තාවන් සිටි තැනක් පසු කොට යන විටත් එලෙස සලාම් ප්‍රාර්ථනය කළේය.

අමුත්තන් තම නිවසට පැමිණෙන විටත් පෙරළා යන විටත් සාදරයෙන් පිළිගත්හ. සමුදුන්හ. මිතුරන් පැමිණෙන විට අතට අත දෙමින් වැළඳ ගත්තේය. ඇතැම් විට ඔවුන්ගේ නළල් තල සිප ගන්නා ලදී. අතට අත දෙන විට අනෙකා අත ඉවත් කර ගන්නා තුරු එතුමා තම අත ඉවත් නොකළහ.

සභාවන් හී දි එතුමා පසෙක වූ අසුනක හිඳ ගත්හ. කිසිදාක අනුන් පරයමින් ඉදිරි පෙළ කරා ගමන් නොකළහ. එතුමා එය අරභයා අල්ලාහ්ගේ සේවකයකු හිඳගත යුතු ආකාරයට මම හිඳ ගතිමියි පැවසීය.

නිහතමානී වූ එතුමා තමන්ට කරන ගරුසරුවක් වශයෙන් සෙස්සන් තමන් හමුවේ සිට ගන්නවාට හෝ තමන් දුටු වහා අසුනින් නැගී සිට ගැනීමට එතුමා ඉඩ නොතැබූහ.

කිසිවකු තම නිවසට පැමිණි කළ ඔහුට වාඩිවීම සඳහා එතුමාම කලාලය එලන ලදී. ආගන්තුකයා කැමැත්තෙන් පිටව යන තුරු ඉවසා සිටියහ.

අනුන් සමග කරන ලද පිළිසඳර වලදී අනවශ්‍ය කතාවන්ට ඉඩ නොදුන්හ. තම හිතවත් අනුගාමිකයන් සමඟ ඉතා සුහදව කතා කළහ. පූර්ව ඉස්ලාම් අවදිය ගැන හාස්‍ය උපදවන කතාවන් කෙරෙන විට එතුමාද සිනහ වූහ. අල් කුර්ආන් පාඨ කියවා ඒ ගැන විමර්ශනය කළේය. අසා සිටින්නන්ගේ මුහුණුවල ප්‍රිය නැති බව හෝ අලස බව හැඟවෙන කල වහාම මාතෘකාව වෙනස් කරන ලදී.

තමන් හා සිටින සියල්ලන්ටම එක හා සමාන ලෙස සැලකූහ. යම් කිසිවෙකුට විශේෂත්වයක් හෝ වෙනසක් සිදු වූ බවට චෝදනා එල්ල නොවීමට වග බලා ගත්හ. සංවාදයේදී යම් කිසිවෙකු අනුචිත මාතෘකාවක් හෝ කතාවක් ඉදිරිපත් කළ විට ඒ ගැන නොසළකා දිගටම කතා කළේය. කතාව අවසානයේදී ඔහු ගැන ද අවධානය යොමු කරන ලදී.

සෙස්සන් තමන් හා පිළිසඳරෙහි යෙදී සිටින විට ඔවුන් ඉවත බැලූ කල්හි විනා එතුමා ඉවත නොබැලූහ. තමන්ට රුචි නොවූ කතාවන් කෙරෙන විට සාමාන්‍ය ඉරියව් වලින් ප්‍රතික්‍ෂේප කළහ.

තමන් විසින් අප්‍රිය කරනු ලැබුවන්ගේ අදහස් වලටද මදහසින් යුතුව සවන් දුන්හ. වරෙක එතුමා හමුවට පැමිණි අයෙකු අසල සිටියවුන්ට පහත් ලෙස කතා කළේය. එහෙත් එතුමා සමඟ සුහදව කතා කළේය.

මෙය දුටු හස්රත් ආයිෂා (අල්ලාහ්ගේ තෘප්තිය ඇයට අත්වේවා) තුමිය විමතියට පත් වූ කළ අල්ලාහ්ගේ නාමයෙන් පහත්කම නිසා කෙනෙකු අනෙක් අය විසින් කොන් කරන්නේද යුක්තිය විනිශ්චය කෙරෙන දිනයේ ඔහුට පහත් ස්ථානයක්ම හිමිවේය එතුමා පැවසීය.