පසුගිය දිනක අන්තර් ජාලයේ සැරිසරන විට මට සිළුමිණ පුවත් පතෙහි එක්තරා ලිපියක් හමු විය. මෙම ලිපියේ අන්තර් ගතය තුලින් ආගමික අදහස් විකෘති කර පෙන්වීමට දරන ලද උත්සාහය නිසා මට මේ ලිපියට පිළිතුරක් ලිවීමට සිත් විය.

ලෝක ආගම් සහ නිර්මාංශ ආහාර ප‍්‍රතිපත්තිය

http://www.silumina.lk/2009/04/26/_art.asp?fn=af0904263

හින්දු සහ බෞද්ධ ආගම්වලට අමතරව ජෛන, යුදෙව්, කි‍්‍රස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද නිර්මාංශ ආහාර කෙරෙහි උනන්දුවක් දක්වා ඇති බව පෙන්වා දිය හැකිය. මේවා අතුරින් නිර්මාංශ ජීවන රටාවක් ඇති, එහි අභිවර්ධනය සහ පෝෂණය කිරීම පිළිබඳව වැඩියෙන් ම අයිතිවාසිකම් කිව හැක්කේ හින්දු ආගමටයි.

ලෝක ආගම් අතුරින් පැරණිම ආගම වන හින්දු ආගම මාංශ ආහාරයට ගැනීමට විරුද්ධව තහනම් ආඥා ගණනාවක් පනවා ඇත. මේවා එකහා සමාන පූජනීයත්වයක් උසුලන නිසා ඒවා මගින් වෙනත් ජීවීන්ට හිංසා කිරීම වළක්වා ඇත. ඇතැම් අය මෙය ආධ්‍යාත්මික නිර්මලත්වයට ද සම්බන්ධ කොට ඇත. එක් කණ්ඩායමක් පවසනුයේ මස් කෑම බරපතල විපාක ගෙන දෙන කි‍්‍රයාවක් බවයි. ඔවුන් ගේ මතය අනුව යමකු කිසියම් සතකුගේ මස් අනුභව කළහොත් එම පුද්ගලයා එම වර්ගයේම සතකු විසින් කා දමනු ලබන බවයි. හින්දු කෘතීන්වල සතුන් මැරීම කිසිසේත් අනුමත කොට නැත.

වේද සම්ප‍්‍රදාය අනුව සෑම සත්වයකුගේ ම ජීවය එකහා සමානව විද්‍යාමන වන නිසා ඔවුන් කෙරෙහි සමාන ආරක්‍ෂාවක් හා කරුණාව පැවැතිය යුතුය. සතුනට මිනිසා ගේ ආත්මයට වඩා අඩු තක්සේරුවක් නොතිබිය යුතුය.

රාමායනය හා මහා භාරතය ද ආගම් හේතූන් මත නිර්මාංශ ආහාර අනුමත කොට ඇත. භගවත් ගීතයේ සඳහන් පරිදි එළවළු, පලතුරු, ඇට වර්ග සහ කිරි ආහාර ප‍්‍රථමයෙන් දෙවියන්ට පුදා දෙවනුව තමන් ද ආහාරයට ගන්නේ නම් ඔවුනට දෙවියන් ගේ විශේෂ ආශීර්වාදය හිමි වෙයි.

මේ අනුව හින්දු ආගම නිර්මාංශ ආහාරය කෙරෙහි ඒකාන්ත ප‍්‍රවණතාවක් දක්වන බව පැහැදිළිය. එය මිනිසාට මෙන් ම සත්ව වර්ගයාට ද අහිංසාව පෙරදැරි කර ගත් ජීවන රටාවකට අනුබල දෙයි. අප දන්නා පරිදි හරේ කි‍්‍රෂ්ණ ව්‍යාපාරයට සම්බන්ධ අය ද නිර්මාංශ ආහායරට පුරුදු වූවෝ වෙති.

යුදෙව් ආගම මෙන් ම කි‍්‍රස්තියානි ආගමේ ශුද්ධ ලියවිලි පද්ධතිය එකක්ය. එම නිසා නිර්මාංශ ආහාර පිළිබඳ විශ්වාසය ද එක මගක යයි.

ඉස්ලාම් ධර්මය යුදෙව් හා කි‍්‍රස්තියානි ආගම් මෙන් වූ ආගමක් නොවේ. ලෝකයේ බොහෝ මුස්ලිම් ජාතිකයන් විශ්වාස කරනුයේ මොහමඩ් නබිතුමා නිර්මාංශ ආහාර පිළිබඳ පණිවුඩය දේශනා කළ අතර කි‍්‍රයාවෙන් ද ඔප්පු කළ බවයි. එතුමාගේ බොහෝ ආප්තෝපදේශ මෙන් ම කි‍්‍රයා පිළිවෙළ ද සතුන් කෙරෙහි ආදරය, කරුණාව, දයාව මත ගොඩනැඟී ඇත.

මිහිතලය මත සැරිසරන සියලුම සත්වයන් මෙන් ම අහසෙහි සැරිසරන පක්‍ෂී වර්ගයා ද මිනිස් ප‍්‍රජාව මෙන් ම වන බව කුරානයේ සඳහන් වෙයි. මෙම ග‍්‍රන්ථයේ කිසිවක් අමතක කොට නොමැත. දෙවියන් ඉදිරියේ මේ සියලු දෙනාම පෙනී සිටිනු ඇත. (සුරා 6.38), එතුමා තම අතවැසියන් සඳහා එළවළු, පළතුරු, මල්, රටඉඳි ගස්, ධාන්‍ය, සුවඳ විලවුන් යනාදියෙන් සමන්විත ලෝකය මවන ලදී (සුරා 55.9-11).

ඉස්ලාම් ඉගැන්වීම් ලෝකයේ එකම හිමිකරුවා මිනිසා බව පිළිගෙන නැත. ඒ ලෝකය ඔහුට හිමි නැති බැවිනි. මිනිසුන් සොබාදහමේ මුරකරුවන් පමණි. සියලුම දේ අල්ලා දෙවියන් ගේ ශී‍්‍ර විභූතිය සඳහා සිදු කරනු ලැබේ. සාධාරණය, කරුණාව, පරිත්‍යාගය යන නියමයන්ට ප‍්‍රධාන තැනක් දී තිබේ. මේ සියල්ල ගෙන බලන විට ඒවා සත්ව වර්ගයාගේ රැකවරණය හා ආරක්‍ෂාව කෙරෙහි යොමු වී ඇති බව පෙනී යයි.

රෝසන් ප‍්‍රකාශ කොට ඇත්තේ මොහමඩ් නබිතුමා නිර්මාංශ ආහාර පි‍්‍රය කළ මුත්, ඔහුගේ මුල් අනුගාමිකයන්ට එසේ කිරීමට නීති පැනවීමට මැලි වූයේ ඔවුන් වෙනස් වීමට ඉඩ තිබූ නිසා බවයි. ඔහු ඒ වෙනුවට ක‍්‍රමික ප‍්‍රතිපත්තිය අනුගමනය කරමින් ඔවුන් ඒ මගට යොමු කිරීමට උත්සහ කළේය. ඔහු තවදුරටත් පවසන්නේ සූෆි සම්ප‍්‍රදාය මගින් ශක්තිමත්, සානුකම්පිත, නිර්මාංශ ආහාර අනුභව කරන මිනිසෙකු නිර්මාණය වන බවයි. ආහාර පිළිබඳ තද නීති පණවන්නන් සතුන් මැරීම සම්බන්ධවත්, තහනම් වන හා අවසර දිය හැකි මාංශ අනුභවය පිළිබඳව පමණි. මේ අනුව ඉස්ලාම් ආගමේ ද නිර්මාංශ ආහාරයට වැදගත් තත්ත්වයක් උදාකොට දී ඇති බව පෙනී යයි.

සකස් කළේ – කේ.ඩබ්ලිව්.ඒ. ජයවර්ධන

ඔහු ලොව හින්දු සහ බෞද්ධ ආගම්වලට අමතරව ජෛන, යුදෙව්, කි‍්‍රස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද නිර්මාංශ ආහාර කෙරෙහි උනන්දුවක් දක්වා ඇති බව පවසන නමුදු මෙම ලිපිය තුල කරුණු ගෙන හැර දක්වන්නේ හින්දු දහම සහ ඉස්ලාම් දහමෙන් පමණි. මෙහිදී ඉස්ලාම් දහම ගැන ඔහු දක්වන කරුණු ඉතා සාවද්‍ය වන අතරම හින්දු දහම ගැනද පවසන්නේ අර්ධ සත්‍යයක් පමණි.

ඇත්තටම හින්දු දහමේ මාංශ ආහාර පිළිබඳ ප්‍රතිපත්තිය මතබේදාත්මකය. ව්‍යාකූලය. හින්දු දහමේ චර්යා සහ නීති පිළිබඳව උගන්වන පැරණි ග්‍රන්ථයක් වන මනුස්මෘති ග්‍රන්ථයේ 5 වන පරිච්ඡේදයේ 30, 31, 39, 40 සහ 42 වාක්‍ය වල ඉතා පැහැදිලිව සහ සෘජුව මාංශ ආහාර අනුභවය අනුමත කොට ඇත. එසේම හින්දු දහමේ ඉතා පැරණි ග්‍රන්ථ ලෙස සැලකෙන වේදාන්තයේද මාංශ ආහාර අනුභවයට ඉතා පැහැදිලිව අවසරය දී ඇත. ඒ පිළිබඳ සාක්ෂි පහත දක්වමි.

රිග් වේද ග්‍රන්ථ අංක 10 – ගීතිකා අංක 16 වාක්‍යය 10,  ගීතිකා අංක 27 වාක්‍යය 2, ගීතිකා අංක 28 වාක්‍යය 2 සහ ගීතිකා අංක 86 වාක්‍යය 13

අථර්වා වේද ග්‍රන්ථ අංක 9 – ගීතිකා අංක 5 වාක්‍ය 37, 38 සහ 39

එසේම ස්වාමි විවේකානන්දගේ ඉගැන්වීම් අඩංගු The complete works of Swami Vivekananda යන ග්‍රන්ථයේ තුන්වන වෙළුමේ 174 වන පිටුවෙහි මෙසේ සඳහන් වේ.

එක් කලෙක ඉන්දියාවේ බ්‍රාහ්මණයන් ගවමස් අනුභව නොකලේ නම් ඔහුව බ්‍රාහ්මණයෙක් ලෙස නොසැලකූ යුගයක් තිබුණු බව සඳහන් කරයි.

එමෙන්ම එම ග්‍රන්ථයේ 536 වන පිටුවේ පැරණි හින්දු ආගමික සිරිත් විරිත් අනුව යමෙකුව හොඳ හින්දු භක්තිකයෙකු ලෙස සලකනු ලැබුවේ ඔහු ගවමස් අනුභව කරන්නේ නම් පමණි යනුවෙන්ද සඳන් කොට ඇත.

හින්දු දහමෙහි මාංශ ආහාර පිළිබඳ තවත් කරුණු දිය හැකි වුවද මේ ලිපිය සඳහා මෙම කරුණු ප්‍රමාණවත් යයි සිතමි.

යුදෙව් ආගම මෙන් ම කි‍්‍රස්තියානි ආගමේ ශුද්ධ ලියවිලි පද්ධතිය එකක්ය. එම නිසා නිර්මාංශ ආහාර පිළිබඳ විශ්වාසය ද එක මගක යයි කියමින් මෙම ලිපියේ කතුවරයා යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් ගැන තම බහුස්‍රැත භාවය පෙන්වා කාරණය සනාථ කිරීමට තැත් දැරුවද සිදුවී ඇත්තේ ඔහු අනාථ වීම පමණකි.

කිතුණු දහමේ ග්‍රන්ථය බයිබලය වන අතර යුදෙව් දහමේ තල්මුද්ය. මේ දෙක අතර පරස්පරතා බොහෝය. මෙම ලිපියේ කතුවරයා මෙම ග්‍රන්ථ දෙකෙන් එකකින් වත් කරුණු ඉදිරිපත් කොට නොමැත. එමනිසා මෙම ලිපිය තුලින් එම ආගම් පිළිබඳව දැනුමැත්තෙකුට මොහුගේ දැනුමේ පටු භාවය පෙනේ.

බුදු දහමේ මාංශ ආහාර ප්‍රතිපත්තිය ගැන ඔහු නොපවසයි. එමනිසා මමද ඒ ගැන නොපවසමි. මගේ ප්‍රකාශයට පත්වීමට තිබෙන ඊලඟ පොත මේ පිළිබව නිසා බුදු දහම ගැන පසුව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.

ඉස්ලාම් දහම ගැන පැවසීමට ආරම්භ කරමින් ඔහු

ලෝකයේ බොහෝ මුස්ලිම් ජාතිකයන් විශ්වාස කරනුයේ මොහමඩ් නබිතුමා නිර්මාංශ ආහාර පිළිබඳ පණිවුඩය දේශනා කළ අතර කි‍්‍රයාවෙන් ද ඔප්පු කළ බවයි. එතුමාගේ බොහෝ ආප්තෝපදේශ මෙන් ම කි‍්‍රයා පිළිවෙළ ද සතුන් කෙරෙහි ආදරය, කරුණාව, දයාව මත ගොඩනැඟී ඇත යනුවෙන් පවසයි. මෙයට ඔහු කිසිදු සාක්ෂියක් උපුටා දක්වන්නේ නැත.

ඔහු විසින් උපුටා ගන්නා ලද අල් කුර්ආන් වැකි වන සුරා 6.38 සහ සුරා 55.9-11 යන පද කොටස් දෙකෙහිම නිර්මාංශ අනුභවය ගැන ‍කිසිදු සඳහනක් නොමැත. තමන් කුර්ආනය ගැනත් දන්නවා යැයි පෙන්වීමට මෙම පද දෙක සඳහන් කළ බවක් පෙනේ.

අවසාන‍යේ ඔහු කාගේ දෝ පාඨයක් ගෙන හැර පෙන්වයි.

රෝසන් ප‍්‍රකාශ කොට ඇත්තේ මොහමඩ් නබිතුමා නිර්මාංශ ආහාර පි‍්‍රය කළ මුත්, ඔහුගේ මුල් අනුගාමිකයන්ට එසේ කිරීමට නීති පැනවීමට මැලි වූයේ ඔවුන් වෙනස් වීමට ඉඩ තිබූ නිසා බවයි. ඔහු ඒ වෙනුවට ක‍්‍රමික ප‍්‍රතිපත්තිය අනුගමනය කරමින් ඔවුන් ඒ මගට යොමු කිරීමට උත්සහ කළේය. ඔහු තවදුරටත් පවසන්නේ සූෆි සම්ප‍්‍රදාය මගින් ශක්තිමත්, සානුකම්පිත, නිර්මාංශ ආහාර අනුභව කරන මිනිසෙකු නිර්මාණය වන බවයි. ආහාර පිළිබඳ තද නීති පණවන්නන් සතුන් මැරීම සම්බන්ධවත්, තහනම් වන හා අවසර දිය හැකි මාංශ අනුභවය පිළිබඳව පමණි. මේ අනුව ඉස්ලාම් ආගමේ ද නිර්මාංශ ආහාරයට වැදගත් තත්ත්වයක් උදාකොට දී ඇති බව පෙනී යයි.

රෝසන් නම් මොහු කවුද මූලාශ්‍රය කුමක්ද යන්න ගැන කතුවරයා නිහඬය. ඔහු ඉදිරිපත් කරන මේ කරුණ පිළිබඳව කිසිදු ඉස්ලාමීය මුලාශ්‍රයක් නොමැති බව වගකීමෙන් සඳහන් කරමි.