වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය විවිධ ජනවාර්ගික කොටස් වලින් සංයුක්ත වන අතර එනිසාම එක් එක් ජන කොටස් වලට උරුම වූ සංස්කෘතීන්ගෙන් විද්‍යාමාන වන විවිධත්වයේ ලක්ෂණ සෑම කෙෂේස්ත්‍රයකම වාගේ දක්නට ඇත. ඉතිහාසයේ අප මෙතෙක් පසු කරගෙන පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බලන විට පැහැදිලිව පෙනෙන සුවිශ්‍රේෂී ලක්ෂණ කිහිපයක් අපට දැකිය හැක. දශක පහක් හෝ හයකට පෙර පැවති අලංකාර සමාජ සාමූහිකත්වය ක්‍රමක් ක්‍රමයෙන් බිඳ වැටී වාර්ගික හා සංස්කෘතික විවිධත්වය පදනම් කරගෙන එකිනෙකාගෙන් ඈත් වෙමින් වෛරය හා ප්‍රකෝපකාරීත්වය මත පදනම් වූ පිළිකුල් සහගත සබඳතාවයක් මෙම කාල වකවානුව තුල ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතින ආකාරය ඉතා හොඳින් දැකිය හැකිය. වසර තිහක් මුළුල්ලේ උතුරු නැගෙනහිර පැවතුණු වාර්ගික ගැටුම්ද මෙම සමාජ ප්‍රවර්ධනයේ එක් අංග ලක්ෂණයක් පමණි.

එක් ජනවාර්ගික කොටසක් අතරේ වුවත් සමහර විට අනිසි ඵල විපාක ගෙනදිය හැකි විවිධත්වයන් දක්නට ඇත. කුල ප්‍රශ්නයල උඩරට පහතරට භේදය වැනි උදාහරණ එක් ජනවාර්ගික කොටසක් අතරේ වූවද පවතින සමාජ විවිධත්වය විදහා දක්වන සාධකයන්ය. මෙම වෙනස්කම් සිංහල සමාජයේ කැපී පෙනෙන ලක්ෂණයන් වන අතර එහි අති විශාල බහුතරයක් අනුගමනය කරන බුදු දහම අනුව මෙය කිසිසේත්ම පිළිගත හැකි සමාජ සංකල්පයන් නොවේ. ඉතා වටිනා සාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කළ බුදුන් වහන්සේ දේශනා කළේ

නඡච්චා වසලො හෝති – න ඡච්චා හොති බ්‍රාහ්මණො

කම්මනා වසලො හෝති – කම්මනා හොති බ්‍රාහ්මණො

වසල සුත්ත

ජාතිය නිසා කෙනෙක් වසලයෙක් හෝ පහත් පුද්ගලයෙක් නොවේ. ජාතිය නිසා බ්‍රාහ්මණයෙක් හෝ උසස් පුද්ගලයෙක් ද නොවේ. ඒ ඒ තැනැත්තාගේ ක්‍රියා අනුවම පහත් පුද්ගලයෙක් වේ. උසස් පුද්ගලයෙක් ද වේ.

කෙසේ නම් බෞද්ධයෙකුට ඉහත ඉගැන්වීම් අනුව කුලය පදනම් කරගෙන තම වර්ගයා අතරේ භේදයක් ඇති කර ගන්නට හැකි වන්නේද? පුවත්පත් වල පළවන මංගල යෝජනා සියල්ලම වාගේ කුලය පදනම් කරගෙන සහකරුවන්, සහකාරියන් සොයන දැන්වීම් බවට පත්වී ඇත. කුලය තවම සමාජය බෙදා වෙන් කරන සාධකයක් බවට පත්වී ඇතැයි යන්නට තවත්  සාක්ෂි අනවශ්‍ය යැයි සිතමු.

පනහේ දශකයේ භාෂා ප්‍රශ්නය පදනම් කරගෙන ඇතිවූ වෛරය නිසා දස දහස් ගණනින් මිනිස් ජීවිත විනාශයටත් අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා ආයෝජනය කළ යුතුව තිබූ අති විශාල ධනස්කන්ධයක් විනාශකාරී යුධ අවි හා දරාගත නොහැකි  ප්‍රමාණයේ අති විශාල හමුදාවක් නඩත්තු කිරීමටත් වෙන් කරන්නටත් සිදු වුයේ අප එදා දුර දක්නා නුවණින් ක්‍රියා නොකළ නිසා බව අකමැත්තෙන් හෝ පිලිගන්නට සිදුවී ඇත. අද අප අත් විඳීමින් සිටින්නේ ජන කොටස් අතරේ අවබෝධය, සාමූහිකත්වය හා එක්සත්කම ගොඩ නගන මාධ්‍යක් බවට භාෂාව පත් නොකර මධ්‍යස්ථ සිතුවිල්ලට ඉඩනොදී දේශපාලන වේදිකාවලින් මතුවූ උද්වේගකාරී ප්‍රකාශණයන් කෙරෙහි පමණක් ආවේගයෙන් කටයුතු කිරීමේ ඵල විපාක නොවේද?

දහම් සම්බන්ධයෙන්ද අපට නිරීක්ෂණය කරන්නට සිදුවී ඇත්තේ ඉතා අභාග්‍ය සම්පන්න අත්දැකීම්ය. විවිධ දහම් අතරේ වෙනස්කම් ඇති බව සැවොම පිළිගන්නා සත්‍යයකි. නමුත් සියළු ආගම් අතරේ පොදු ලක්ෂණ කිහිපයක්ද දක්නට ලැබේ. කරුණාව, මෛත්‍රීය, ඉවසීම, උපේක්ෂාව, නිහතමානීත්වය, වැනි ශ්‍රේෂ්ඨ ගුණාංග හැම දහමකටම පොදු ලක්ෂණයන් වුවද අප කෙතරම් ආගමික ගැටුම් මේ රටේ දැක ඇත්ද?  ආගමික දේශණා තුළින්ම අන් ආගමිකයින් කෙරෙහි වෛරය හා ප්‍රකෝපකාරීත්වය ඇති කිරීම, මෛත්‍රීය හා කරුණාව පදනම් කරගත් ආගමික ඉගැන්වීම් අනුගමනය කරණ පූජක පක්ෂ විසින්ම දෛනිකව කරගෙන යන ක්‍රියාවක් බවට පත්වී ඇති සැටි මාධ්‍ය තුලින් අපි දකින්නෙමු.

නහී වේරේන වේරානී       -  සම්මන්තීධ කුදාචනං

ආවේරේන ච සම්මන්ති -  එස ධම්මෝ සනත්තනෝ.

ධම්ම පදය යමක වග්ග

අපවිත්‍ර වූ තැනක් ඒවායින්ම සෝදා පිරිසිදු කළ නොහැකිය. පිරිසිදු දියෙන් සේදීමෙන් අපවිත්‍ර ස්ථාන පිරිසිදු වන්නාක් මෙන් ක්ෂාන්ති, මෛත්‍රී ආදී අවෛරයෙන් වෛරය දුරුවේ.

මෙම උසස් සදාචාරාත්මක ඉගැන්වීම් පිළිපැද්දේ නම් පසුගිය කාලයේ ඇති වූ අවාසනාවන්ත ආගමික ගැටුම් තුළින් සිදු වූ අති විශාල දේපොළ හා ජීවීත හානී කොතෙක් නම් වළක්වා ගන්නට ඉඩ තිබුණාද?

සූත්‍ර පිටකයේ කොටසක් වූ දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සූත්‍රයේ සඳහන්ව ඇති කරුණු කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු.

බුදු රජුහු (මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය, සිත් අමනාප නොකර ගත යුතුය…………… එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සගනගේ හෝ ගුණ කියත් නම් එහිදී තොප ඒවායීන් උදම් විය යුතුද නොවේ. උඩගු විය යුතුද නොවේ.)

භාෂාව මෙන්ම දහමද බහු සංස්කෘතික සමාජයක සාමූහිකත්වය හා එක්සත්භාවය ගොඩ නගන්නට උපකාරී කරගන්නට නම් එකිනෙකාගේ ආගමික ඉගැන්වීම් කෙරෙහි එක්තරා ප්‍රමාණයකවත් දැනුමක් ලබා ගත යුතු වන්නේය යන්න අපගේ අදහසයි. බුදු දහමෙහි යහපත් සාරධර්ම ගැන ලියන්නට අපට හැකිවී ඇත්තේ සූළු වශයෙන් හෝ දැනුමක් ලබා ගත් හෙයින්ය.

ඉස්ලාමිකයින් ලෙස ඉස්ලාම් නොවන සහෝදර ජනතාවට ඒ ගැන එක්තරා ප්‍රමාණයකවත් අවබෝධයක් ලබා දීම අපගේ වගකීමක් හැටියට සලකන්නෙමු. ඉස්ලාමය වනාහී අධ්‍යාත්මික මගපෙන්වීමකින් යුක්තව සමාජයට සදාචාරයන් උගන්වන දහමකි. ඉස්ලාම් නොවන බහුතරයෙන් කී දෙනෙක් නම් මේ දහම පිළිබඳව නිවැරදි වැටහීමක් ලබා ගෙන ඇත්ද? අපට බහුලවම ඇසෙන්නේ වැරදි වැටහීම් මත පදනම්වූ අදහස් වීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට කාලය එලඹ ඇතැයි අපි සිතන්නෙමු. මේ හේතූව නිසා අප දන්නා තරමින් සුළු වශයෙන් හෝ ඉස්ලාමය පිළිබඳ නිවැරදි දැනුමක් ලබා දීම අපගේ වගකීමක් ලෙස සලකන්නෙමු.

මේ පිළිබඳව වැරදි අර්ථ කථනයක් ලබාදී වෛරය ගොඩ නගන්නට කිසිවෙකුත් උත්සහ නොකරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. ඉස්ලාම් නොවන අපගේ සහෝදර ජනතාවට මෙම දැනුම ලබා දීමට අප අදහස් කරන්නේ විශ්‍රේෂයෙන්ම විවිධත්වය මත පදනම් වූ අප සමාජයේ සාමූහිකත්වය හා එක්සත්භාවය ගොඩ නැගීමටයි. මෙම කාර්යය සාර්ථකව ඉටුකර ගත හැකි වන්නේ අවබෝධය හා නිවැරදි දැණුම තුළින් පමණි. ඉස්ලාමය පිළිබඳව දැනුමක් ලබා දීම සඳහා අපගේ ඉදිරිපත් වීම සදාචාර විරෝධීව මිනිසුන් ඉස්ලාමයට හරවා ගැන්මට දරන්නාවූ උත්සහයක් ලෙස කිසිවෙක් වැරදි නිගමනයක් ඇති කර නොගනු ඇතැයි විශ්වාස කරන්නෙමු. අප එක් එක් දහම් අනුගමනය කරන්නේ දෙමව්පියන් අනුව යමින් බවත් බොහෝ විට ඒ දහමේ සත්‍ය අසත්‍යභාවය ගැන සොයා බැලීමට උත්සාහයක් කිසිදිනෙක අපෙන් සිදු වී නොමැති බවත් අකමැත්තෙන් හෝ අපට පිළිගන්නට සිදුවන සත්‍යයකි. ඒ නිසා අපගේ මතය වන්නේ පාරම්පරිකත්වය මත බිහිවූ විශ්වාසයන් අනුව මිනිසුන් එක් දහමක බැඳ නොතබා විචාර බුද්ධියෙන් කරුණු සොයා බලා නිවැරිදි නිගමනයකට එළැඹීමේ අයිතිය සැමටම තිබිය යුතුය යන්නයි. මෙය මූලීක මිනිස් අයිතිවාසිකමකි.  සදාචාර විරෝධීව මිනිසුන් ආගම්වලට හැරවීම ගැන ඉස්ලාමය ඉතා දැඩි ලෙස විරුද්ධ වන්නේය. මේ සම්බන්ධව ශුද්ධවූ අල්-කුර්ආණයේ ඉගැන්වීම් විමසා බලමු.

දින් හී අල්ලාහ් විසින් පහළ කරන ලද ජීවන මාර්ගය පිළිපැදීමෙහි බල කිරීමක් නොමැත.

අල් කුර්ආණ් 2 පරිච්ඡේදයේ 256 පදය

මෙහිදී දීන් යන අරාබි වදනින් අදහස් වන්නේ දහම හා ඒ මත ගොඩනැගුණු දිවි පිළිවෙතයි.

විශ්වාස වන්තයිනි, අල්ලාහ් හැර ඔවුන් නැමදුම් කරන අන් අයව නුඹලා පරිභව නොකරනු.

අල් කුර්ආණ් 6පරිච්ඡේදයේ 108 පදය

යහපත් චේතනාවෙන් ඉස්ලාමය පිළිබඳව පහදා දීම හැර කිසිම අයෙකුට එය පිළිගන්නා ලෙස බලකරන්නට හෝ අන් ආගම් වලට අපහාසයක් ඇති වන ආකාරයේ කටයුතු කිරීමට හෝ ඉහත සඳහන් ශුද්ධවූ අල්-කුර්ආණයේ ඉගැන්වීම් අනුව සෑම මුස්ලිම්වරයෙකුටම තහනම් කාර්යයක් වන්නේය. ඒ නිසා ඉස්ලාමීය ඉගැන්වීම් පැහැදිලි කරදීම අන්‍යෝන්‍ය අවබෝධය පදනම් කරගෙන සමාජයේ සාමූහිකත්වය හා එක්සත් භාවය රැක ගන්නට මගපාදන ක්‍රියාදාමයක් ලෙස සැවොම පිළිගනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

සෑම ඉස්ලාමිකයෙකුම ජීවීතයේ සියළු ක්ෂේත්‍රයන්හී අවංකව හා යුක්තිගරුකව කටයුතු කළ යුතුය යනු ශුද්ධවූ අල්-කුර්ආණයේ ඉගැන්වීමයි.

විශ්වාසවන්තයිනි,  නුඹලා ස්ථීර ලෙස යුක්තිය ඉටු කරන්නන් වනු. නුඹලාගේ යුක්තිය හා සාක්ෂිය. නුඹලාට හෝ දෙමවිපියන්ට හෝ ඥාතීන්ට හෝ හානි කර විය හැකි වූවද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂිකරුවන් වනු. අදාළ තැනැත්තාවූ ඔහු පොහොසත් වූවද දුප්පත් වූවද කමක් නැත අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව පිළිබඳව නුඹලාට වඩා ඉතා සැළකිලිමත් වෙයි. එබැවින් යුක්තිය ඉෂ්ඨ කිරීමේ මාර්ගයෙන් නුඹලා බැහැර වීමට ඉඩ ඇති හෙයින් නුඹළාගේ අභිමතය අනුව නොයනු. නුඹලා ස්වකීය සාක්ෂිය විකෘති කළ හොත් හෝ නුඹලා සත්‍ය පැවසීමෙන් වැළකී සිටියහොත් නුඹලාගේ ක්‍රීයාවන් පිළිබඳ නියත වශයෙන්ම අල්ලාහ් සම්පූර්ණ අවධානයෙන් යුතුව පසු වන බව දැන ගනු.

ශුද්ධවූ අල්-කුර්ආණ් 04 පරිච්ඡේදය 135 පදය

නූතන ලෝකයේ විශේෂයෙන්ම ගමනා ගමන හා සන්නිවේදන ක්ෂේත්‍රයන්හී ඇතිවී තිබෙන අතිවිශාල දියුණුව මගින් මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති ආකාරය අපට දක්නට ලැබේ. මුළු ලොවම සමීප විශ්ව ගම්මානයක් බවට පත් වෙමින් තිබෙන මෙම යුගයේ මිනිස් හදවත් පමණක් අති භයානක ලෙස ඈත් වෙමින් පවතින බව අප සැමගේ නිරීක්ෂණයට හා අත්දැකීමට යොමු වූ සාධකයක් බවට පත් වී ඇත. අපගේ අදහස මෙම ඈත් වීම වළක්වාලමින් සියළු හදවත් සාමූහිකත්වයෙන් හා එක්සත් භාවයෙන් බැඳ තැබිය හැකි වන්නේ නිවැරදි දැනුම තුළින් ඇති වන අවබෝධයෙන් පමණක් බවයි.

දහම අප ජීවත් වන සමාජයේ විවිධත්වයේ සාධකයක් වූවත් එය වෛරය හා ක්‍රෝධයේ ගුරුවරයෙක් කොට නොගෙන සාමූහිකත්වයේ ආලෝකය බවට පත් කර ගන්නට එක්සත්ව කටයුතු කරමු. මුළු මහත් මිනිස් වර්ගයාම එක පවුලක් බව ශුද්ධ වූ අල්-කුර්ආණය අපට උගන්වයි.

මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම තොප මිනිසකුගෙන් හා ස්ත්‍රියෙකුගෙන් නිර්මාණය කෙළෙමු. තොප එකිනෙකා දැන ගනු පිණිස අපි තොප ජාතීන් හා ගෝත්‍රිකයින් කෙළෙමු. ඇත්තෙන්ම අල්ලාහ්ගේ අභියස තොපෙන් ඉතා ගෞරව ඇති තැනැත්තා දේව සවිඥාණක දැහැමි තැනැත්තාය. අල්ලාහ්  (දෙවිඳුන්) සර්වඥය, සවිඥාණීය.

ශුද්ධවූ අල්-කුර්ආණය 49 පරිච්ඡේදය 13 පදය

ශුද්ධවූ අල්-කුර්ආණයේ මගපෙන්වීම අප සැවොම එක පවුලක් ලෙසින් කිසිදු භේදයකින් තොරව සහෝදරත්වය හා නිවැරදි අවබෝධය මත පදනම් වූ සාමූහිකත්වය මුල්කරගෙන ජීවත් විය යුතුය යන්නයි. අවසාන වශයෙන් ඉස්ලාමයෙහි අන් ආගම් කෙරෙහි ලබා දී ඇති නිදහස හා ගෞරවය විදහා දක්වන වැදගත් සිද්ධියක් සඳහන් කරන්නට කැමැත්තෙමු. ශුද්ධවූ අල්-කුර්ආණයේ ඉගැන්වීම් ජීවමාන කරමින් මදීනා නගරයට පිවිසි හිජ්රි කැලැන්ඩරයේ නව වන වසරේදී මුහම්මද් වක්තෘවරයාණන් (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) නජ්රාන් ප්‍රදේශය හෙවත් වත්මන් රියාද් අවට ප්‍රදේශයේ ජීවත් වූ කිතුණුවන් සමග ඔවුන්ගේ අයීතීන් සම්බන්ධව ප්‍රඥාප්තියකට අත්සන් තැබූහ. මුහම්මද් වක්තෘවරයාණන් (අල්ලාහ් දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) අධ්‍යාත්මික නායකයා පමණක් නොව මදීනා නගරය මුල්කොටගෙන ගොඩ නැගුණු ජනරජයේ ජනාධිපති ලෙසද කටයුතු කළේය. එම ප්‍රඥාප්තියේ වැදගත් කරුණු පහතින් දක්වා ඇත්තෙමු.

නජ්රාන්හි කිතුණුවන් හා ඒ අවට ප්‍රදේශයේ වැසියන්ට ඔවුන්ගේ ජීවිත දහම හා දේපල පිළිබඳව සුරක්ෂිතභාවය ගැන අල්ලාහ්ගේ හා අල්ලාහ්ගේ වක්තෘවරයාගේ සහතිකය මෙයින් ප්‍රකාශ කර සිටින්නෙමු. දැනට පැමිණ සිටින අය මෙන්ම නොපැමිණි අන් අය සම්බන්ධයෙන්ද ඔවුන්ගේ දහම් පිළිපැදීමට ඇති අයිතිය, කිසිම පූජකයෙක් එම තනතුරෙන් ඉවත් නොකිරීම, කිසිම ප්‍රතිමාවක් හෝ කුරුසියක් බිඳ නොදැමීම, ඔවුන්ගේ පූජා ස්ථානයන්හි සුරක්ෂිතභාවය, තමන්ගේ දහමේ නැමදුම් හා අනෙකුත් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර ගැනීමේ අයිතීන් ගැනද මෙයින් සහතිකයක් ලබා දෙනු ලැබේ. මෙයට පෙර පැවති ලේ පලිගැනීමේ ක්‍රියාදාමය අත් හැරීමට ඔවුන් මෙයින් එකග වී ඇත. හමුදාවට කිසිම ආකාරයක සැපයීමක් කරන්නට ඔවුන්ට කිසිම වගකීමක් නොමැති බවද මෙයින් සහතික කෙරේ. (Islam- Universal Religion – Prof. Ziauddin Ahmed-Page 11)

මෙය වසර 1400 කට පෙර ඉස්ලාමය විසින් අන් ආගම් හා ජන කොටස් වලට ලබාදුන් පොදු අයිතීන්ය. නම්‍යශීලී භාවයල අන් අයගේ මතයන්ට ගරු කිරීමල අන් අයගේ මූලික අයිතීන් සුරැකීම සහෝදරත්වය හා නිවැරදි අවබෝධය මත පදනම්වූ සමාජයක් බිහිකිරීම  ඉස්ලාමයේ වගකීමයි.

මෙවන් ශ්‍රේෂ්ඨ ඉගැන්වීම්වල උරුමක්කාරයින් වන අප එකිනෙකා අවබෝධ කරගෙන එක්සත් හා සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අත්වැල් බැඳ ගනිමු.