Published by Anver on 06 Jan 2010 at 06:13 pm
ආගමික අන්තවාදයේ කරුමය
මෙම කොටස මම උපුටා ගන්නා ලද්දේ වෙනත් බ්ලොග් එකකිනි.
ආගමික අන්තවාදයේ කරුමය : පසුගිය දවසක අපි විශාල කලබැගෑනියක් නිර්මාණය කල සිදුවීමක් සිදුවුණි. ඒ අනවසරයෙන් ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමේ වරදරට හිමි නමක් අත් අඩංගුවට ගැනීමත්, ඉන්පසු අධිකරණයේ එම නඩුව කැඳවූ විට භික්ෂූන් වහන්සේ නැගී නොසිටීමත් යන කරුණු නිසා. විකාර සහගත රටක් වන ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මූලික විඳීමට බාධා කිරීම ආතල් එකක් කර ගැනීම නිසා මේ සිවිල් නීති කඩ කිරීම සාධාරණිකරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවුනා. අපි දන්නා තරමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ලංකාව ඉරානයේ හෝ වෙනත් අරාබි රටක් මෙන් ආගමික රාජ්‍යයක් නොවන බව හැමෝම දන්නා කරුණක්. ඒ අනුව රටේ සිවිල් නීතියට ගරු කිරීම ආගමික නායකයන් හට වුවත් අදාලය යන සරල කාරණාව මුලින්ම තේරුම් ගැනීමට මේ අන්තවාදී බුද්ධ පුත්‍රයන් හට නොහැකි වීම ගැන ඇත්තේ ලොකු කණගාටුවක්. මේ ස්වාමීන් වහන්සේට අනුව පාරේ වම් පැත්තෙන් ගමන් කිරීමට පූජක පක්ෂයට හැකිවිය යුතුයි. මොකද ඔවුන්ගේ අමන තර්ක අනුව රටේ මූලික නීතියට ඉක්මවා යන බලයක් ඔවුන් සතුව ඇතැයි උපකල්පනය කරන නිසා. දැන් මූලික සිද්ධිය දෙසට අවධානය යොමු කරමු.
කාලයකට ඉහත පන්සලක් නිවස අසල පිහිටා තිබීමේ අවාසනාවට මම ද මුහුණ දුන්නා. ආගම යනු මිනිසුන්ගේ මානසික සුවය සදන දෙයක් වුවද ඉරිදා උදේ පාන්දර ඇරඹෙන මේ පිරිත් දේශනාව ශබ්ද විකාශන යන්තූ මගින් ප්‍රදේශය පුරා රැව් දෙන විට , සතියේ දවස් හයක් පුරාවට මානසික , ශාරීරික විඩාවට පත්වුනු නූතන යුගයේ ලාංකිකයාගේ භූමිකාව නියෝජනය කරන අපිට ඉරිදා උදයේ අමතර පැයක් නිදා ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙනවා. පිරිත් වාදනය අසන්නට අවශ්‍ය නම් ඒක අවශ්‍ය පුද්ගලයා අසනවා විනා බලෙන් මිනිසුන් මත පටවා අනෙකාගේ නිදහසට යම් ආකාරයකින් හෝ බාධා කරන මේනියාව මොකද්ද කියන එක තේරුම් ගන්නට හරි අමාරුයි. හරියට බස් වල යනකොට වාදනය වන කැසට්, රේඩියෝ මගින් රියදුරා අපේ නිදහසට බාධා කිරීම වගේ වැඩක්.
අන්තවාදී මුහුණවර ගත් ජාතික වාදී , ආගම් වාදී ව්‍යාපාර හරහා ශෝකාන්ත බවට පත්වූ ඇෆ්ගනිස්ථානය පිළිබඳව කතාව කියවල හමාර කලේ ඊයේ. මෙවැනි ව්‍යාපාර හරහා බැට කෑ රටවල් සඳහා උදාහරණ ඕනෑ තරම් තියෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් සහ වඩා යහපත් සමාජයක් උදෙසා වන සමාජ දේශපාලන ව්‍යාපාරයක සේයාවක් වත් දකින්නට නැති ශ්‍රී ලංකාවේදී ඒ වෙනුවට බිහි වන නොයෙක් උරුමයන් යුයි කියාගත් කරුම පක්ෂ වලට පින්සිදු වන්නට මෙවැනි මතවාද පවත්තවා ගෙන යාමට අවශ්‍යය පිටිවහල තවමත් ලැබෙනවා. ඒක නිසා කරුණාකර රටේ සිවිල් නීතියට ගරු කිරීම වඩා වැදගත් බව මේ උන්නාන්සේලා තේරුම් ගන්නට කාලය එළඹිලා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස දී ඇති නිසා කරුණාකර ආගම අප මත බලෙන් පටවන්නට එපා කියන කාරණාව මතක් කර දෙන්නට සිද්ධ වෙනවා.
හාමුදුරුවනේ,
ලංකාව කියන්නෙ පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා
අන්තවාදයේ කරුමය 2: අන්තවාදයේ කරුමය නමින් මුලින් ලියන ලද ලිපියට සෘජු ප්‍රතිචාර නොදක්වා තැන් තැන් වල ලියා තිබූ බැවින් නැවත මුල් ලිපියේ අර්ථය පැහැදිලි කිරීමට ලියන්නෙමි. නමුත් මුලින්ම කීමට ඇත්තේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම කෝකටත් හොඳ බවය.
මුල් ලිපිය නැවත සැලකිල්ලෙන් කියවා බැලුවහොත් ලංකාව යනු ආගමික රාජ්‍යක නොවන බව අවධාරණය කර ඇත්තේ ආගම සමග ඇති තරහක් හෝ වෙනත් ආකාරයේ නෝක්කාඩුවක් නිසා නොව පුරවැසියන්ගේ මූලික නිදහසට බාධා කිරීමට ආගමට මුවා වීමට එරෙහි වීම උදෙසාය. අනෙත් වැදගත් කාරණය වන්නේ ආගම මිනිසුන් මත බලෙන් පැටවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කරනු පිණිසය.
ඛේදවාචයක් බවට පත්වූ ශ්‍රී ලාංකාවේ සිය මධ්‍ය පාන්තික කුහක භාවය ද , හිස් කමද වසා ගැනීමට නොයෙකුත් විකාර රූපී රංගන වල යෙදෙන ලාංකිකයන් මත පදනම් වූ කරුම පක්ෂ වලට පින්සිදු වන්නට සිවිල් නීති කඩ කිරීම සාධාරණි කරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවෙන රටක දී මේ ලියැවීම් විකාරයකි. ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ මූලික නීති පැනවූයේ ලංකාව තුල මිනිසුන්ට අවම වශයෙන් රාත්‍රි කාලයටවත් සැනසිල්ලේ සිටින්නට හැකි වන ලෙසටය. නමුත් තමන්ගේ අසල් වැසියා සුවසේ නිදා ගැනීම නිසා තමන්ගේ ආතල් බිඳ ගන්නා අපේ අමනයන් හට මේ නිතී නිසා හිත රිදේ. ආගම යනු අධ්‍යාත්මික සුවය සලසා ගැනීමට අවශ්‍ය දෙයකි. ජීවිතයේ දුක් ගංගාවක් නම් එය තරණය කර අධ්‍යාත්මික සැනසීම කරා එළඹීමට ඇති පාරුවක් ලෙස ආගම සැලකිය හැක. නමුත් කරන්නට වැඩක් නැති කමින් පෙලෙන ලාංකිකයා හට අවශ්‍ය පාරුවේ නැගී යාම වෙනුවට පාරුව කරේ තබාගෙන යාමය. මෙය අද දවසේ ආගම් වලට පමණක් නොව නොයෙක් ආකාරයේ අන්තවාදයන් හට යොමු වුනු ලාංකිකයන් හට අදාලය. එම නිසා අනුන්ගේ ආතල් කැඩීමට ඔබට ඇති ආසාව නිසා කරුම පක්ෂ සහ නොයෙකුත් සංවිධාන ඔබ ලා සමග රමණයේ යෙදුනු පමණින් ඔබ සමග රමණයේ යෙදීමට අප බැඳී නැත.
එම නිසා පෙර ලිපියේ අවසානයේ ලියූ දෙය නැවත ලියමි.
ලංකාව පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා.
http://binkulife.blogspot.com/2009/04/blog-post_9605.html ඇසුරිණි.